Drg No
Member
Sep 29 2024 @ 20:31
උන්මාදේ ッ - 4

මතකනෙ.... ශලනි එක්ක ශොපින් යන්න කතා කරගත්තනෙ අපි. ඉතින් අද අපි යමු ශොපින්!
ආසිරී... මංගල... ගීත ගයා අපී... ලල ලේ ගම්මානේ.....
සෙනසුරාද උදේ ඇහැරුනේ නිකං ටින් එකක් ඇතුලට දාල පොල්ලෙන් ගහල ගඟකට විසි කලා වගේ ලයින් එකේ. ඇම්ඩා නං මටත් කලින් ඇහැරිලා උගෙ ඔෆිස් එකේ වැඩක් කරනව. මෝලා නං ඩවුන්. ඌට තේරෙන්නෑ සිස්ටම් එකට බොන්න. ඌ බොන්නෙ ලෝකල් බෙබාලගෙ ස්ටයිල් එකට. බාර් එක ගාවින්ම බෝතලේ කඩල අමුවෙන්ම ගැහුව. ඊට පස්සෙ බෝතලේ එතනම පොලේ ගහල එතනම කාණුවක නිදාගත්ත ගැම්මට.
ජීවිතේ සුන්දරයි ඉතින්.
"කීයටද බං යන්නෙ"
ඇම්ඩා ෆයිල් එකට ඔලුව දාගෙනම මගෙන් ඇහුව.
"10ට වත් යමන්. මම ශලනිටත් කිව්වෙ ඒ වෙලාව. රශ්මිත් යයි බොහෝ විට"
රශ්මි යනව කියපු ගමන් ඇම්ඩා මං දිහා බැලුව පැණි හිනාවක් දාගෙන.
"අඩෝ සිරාද?"
"ශලනි තනියම එන එකක් නෑ. රශ්මිලගෙ කාමරේ ඉන්නෙ එයා. ඒ නිසා රශ්මිවත් එක්කන් එයි"
"එල එල"
"උඹට මොකෝ අමුතු ආතල් එකක් ගියේ රශ්මි එනව කියපු ගමන්"
"නෑ නෑ නිකං"
නිකං වෙන්න බෑ. මුගෙ මොකක් හරි රහස්‍ය යටිකූට්ටු අදහසක් ඇති ලොවෙත්. එක්කො ටෝක් කරනව , එක්කො දැනටම ටෝක් වෙලා. ඇම්ඩගෙ කෙල්ලො සම්බන්ධ දේවල් අපි ගොඩක් දන්නෑ. ඌම කිව්වොත් විතරයි අපි දන්නෙ.
ටිකකින් මෝලාත් නැගිට්ට නිකං කරවෙච්ච ලූණු බිකක් වගේ වැනි වැනි. මෑන්ට කොහොමත් බීල ඉවර වෙලා , ඇඟේ ඇල්කොහොල් සැර යන්න පැය හතලිස් අටක් වත් ඉන්න ඕනෙ.
මම එහෙම්ම ශලනිට කෝල් එකක් අරන් කිව්ව අපි 10ට යනව කියල.
ඒ කියල අපි තුන් දෙනාම මූණ කට හෝදන් ලෑස්ති උනා නවයයි තිහ වෙනකොටම වගේ. ඇම්ඩ නං කොළඹ යන්නෙ උගෙ ඩොකියුමන්ටරි සීන් එකකට. මෝලා යන්නෙ අපි දෙන්න යන නිසා. නැතුව උට ගන්න තරන් මගුලක් නෑ. මම යන්නෙ මගෙ මිකෑනිකල් බඩු ටිකක් ගන්න. මොකද ඔෆිස් එකෙන් කෝටා එක දාල ඕව ගන්නකොට තව මැශින් දහයක් විතර කැඩිල තියෙයි.
10ට කාලක් තියෙද්දි අපි තුන් දෙනා පහලට බැස්ස. තුන් වෙනි තට්ටුව ගාවින් නැවතිලා මම ශලනිගෙ කාමරේ ගාවට ගිහින් දොරට තට්ටු කලා.
ටිකකින් දොර ඇරියෙ රශ්මි. මාව දැක්ක ගමන් හිනාවෙලා එහෙම කතා කලා.
"ආ පොඩ්ඩක් ඉන්න ගිම්හාන්. ශලනි තාම ලෑස්ති වෙනව"
"හරි හරි. මේ උඹත් යනවද?"
මම එහෙම ඇහුවෙ රශ්මිත් නිකං මූණට ටින්කරි පාරක් දාල එහෙම ඉන්න නිසා.
"ඔව් ඔව්. ශලනිට තනියම යන්න බෑ කිව්ව. කමක් නෑනෙ. උඹට අවුලක් නෑ. උඹ ශලනි එක පලයන්කො"
රශ්මිල දන්නවනෙ මම ශලනිව ටෝක් කරනව කියල. මුලු බෝඩිමම දන්නව ඉතින්. අපි කෙල්ලො එක්ක ඕනෙවට වඩා හිතවත් වෙන්නෙ ආතල් එකට නෙවේනෙ. ටෝක් කරන්නම තමා.
මම ශලනිට එන්න කිව්වෙ 10ට නිසා එයා ගානටම 10ට තමා ලෑස්ති වෙලා ඉවර උනේ.
ශලනිව දැක්කම නං මගෙ විතරක් නෙවේ මෝලගෙයි ඇම්ඩගෙයි පවා කටවල් ඇරුන.
තද නිල් පාට ඩෙනිමක් ගහල , හයි හීල්ස් දාල , සුදු බ්ලවුස් එකක් ඇඳල (අර බඩෙන් ගැටගහන ජාතියෙ) නිකං ලෝක රූ රැජිනට යන්න බැරි කමට මෙහෙ ඉන්නව වගේ.
හිත සලිත උනා ඒ රූපෙ දැකල.
"ගිම්හාන් හරි නේ. යමු එහෙනං"
මම ශලනිගෙ බොඩිය දිහා කට ඇරන් බලන් ඉන්නව දැකල එයා මට කිව්ව.
"හරි හරි යමු"
ඇම්ඩගෙ බයික් එකෙන් අද වැඩක් ගන්න බෑ. උටත් අද අපි එක්ක බස් එකේ ගාටන්න වෙන්නෙ.
අපි අද බස් එකේ නගින්නෙ බත්තරමුල්ල පැත්තෙන් ඉඳන් ආව රූට් එකෙන් නෙවේ. මම එදා ශලනිට කිව්වෙ බෝඩිමේ එහා පැත්තෙ පාරක් ගැන. අන්න ඒ පාරෙන්.
අපි පස් දෙනා කයියක් ගහගෙනම පාරට ඇවිල්ල බස් හෝල්ට් එකෙන් හිටගත්ත. අද සෙනසුරාද නිසා වෙනදට වඩා මිනිස්සු අඩුයි පාරෙ. ඒ නිසාම බස් යන්නෙත් නිකං කැඳ බීල වගේ.
ටිකකින් කොටුව බස් එකක් ආපු නිසා අපි ඒකට නැග්ග. රශ්මියි ඇම්ඩයි දෙන්නම පැනපු ගමන් ඩබල් සීට් එකක වාඩි උනා.
හරිනං මමනෙ ලව් කරන්න ඕනෙ. ඒ උනාට ලව් කරන්නෙ වෙන වෙන උන්. උන්ට විතරක් නත්තල් දෙන්න බෑනෙ. ඉතින් මම ශලනිව තුනේ සීට් පේලියක කොනටම යවල මම මැදින් වාඩි උනා. මෝල මට එහා පැත්තෙන් වාඩි උනේ මමයි ඇම්ඩයි දිහා බලන ගමන් හූල්ලල.
මෝලට අසහනේ තිබ්බට තාම හරියට කෑල්ලක් ටෝක් කරගන්න බෑ. මොකද ඌ හොයන්නෙ ස්පෙශල් කෑලි. හැබැයි හැම එකටම බැල්ම නං දානව.
පැය බාගෙකින් විතර ඇම්ඩයි රශ්මියි බැස්ස පරිපාලන අමාත්‍යාංශය ගාවින්. ඇම්ඩගෙ වැඩේට රශ්මි බැස්සෙ අහවල් මගුලකටද. ශලනිත් බය වෙලා. එයාට දැන් තනියමනෙ යන්න වෙන්නෙ. රශ්මි , ශලනිට ශේපක් දාල ඇම්ඩ එක්ක දීග කන්නද කොහෙද බැහැල ගියා.
අපි තුන් දෙනා සීට් එකේ ඉඳන් කයියක් ගහ ගහ ඉන්න අතරෙ ඩයල් එකක් නැග්ග බස් එකට සරමක් එහෙම ගහපු මැරෑටි පෙනුමක් තියෙන. ඇවිල්ල පටන් ගත්ත නැතිබැරි කම් කියවන්න. මම නං සාමාන්‍යයෙන් බස් වල සල්ලි එකතු කරන අයට සත පහක් දෙන්නෑ. ඇම්ඩත් එහෙමයි. අපි දෙන්න කටවහන් පාඩුවෙ යනව. හැබැයි මෝලාට නං එහෙම උන්ව පේන්න බෑ. ඌ මොකක් හරි කැත කතාවක් කියල ඒ මිනිස්සු එක්ක ඇරගන්නමයි යන්නෙ.
දැන් අර සල්ලි එකතු කරන එකත් සීට් එකක් ගානෙ ඇවිල්ල අත පානව. ශලනි දඩස් ගාල හෑන්ඩ් බෑග් එක අඳින්න ගත්තු නිසා මම ඒ දිහා බැලුව.
"මොකෝ මේ. මොනා හරි දාල ආවද?"
"නෑ ගිම්හාන්. අර මනුස්සයට කීයක් හරි දෙන්න පව්නෙ. ඔයාල දෙන්නැද්ද"
"අනේ ඕවට දෙන්න සල්ලි නෑ. ඔය අතපය හතර හොඳට තියෙන්නෙ. රස්සාවක් කරන්න එපැයි"
"එහෙම කියන්න එපා ගිම්හාන්. මොකක් හරි හේතුවකට ඒ මිනිහට දැන් හිඟමන් යන්න වෙලානෙ. අපි හේතු හොයන්නැතුව හොඳ හිතින් දෙයක් කරමු. අපිටමනෙ හොඳක් වෙන්නෙ"
"හා හා දෙන්නම් දෙන්නම්"
ශලනිගෙ ශික්ෂා පදය නිසා මටත් කීයක්වත් නොදී ඉන්න බැරි උනා.
ඒ අස්සෙ මෝලා අර මිනිහ දිහා බලන් දත කට තද කරනව දැක්ක නිසා මම මෝලට තට්ටුවක් දැම්ම.
"මේ මෝලා. ගොන් ආතල් දෙන්න එපා ඈ. ශලනි ඉන්නව"
"නෑ නෑ අද මුකුත් කියන්නෑ."
"තමුසෙ ගිය මාසෙ තරුණ සංගමේදි දුන්න වගේ ආතලුත් එපා ඈ"
"හරි ඕයි හරි."
මෝලා තරුණ සංගමේ සමිති වාරෙ දවසක දීපු ආතල් එක උඹල දන්නෑනෙ.
මම බෝඩිමට ආපුම කාලෙ මෝලා තමා අපි තුන් දෙනාගෙන් ලොක්ක වගේ හිටියෙ. මොකද ඌ අපිට කලින්නෙ මේකට ඇවිල්ල තියෙන්නෙ.
ඉතින් මේ පැත්තෙ තියෙනව තරුණ සමිතියක්. කොල්ලො කෙල්ලො එකතු වෙලා ශ්‍රමධාන තියෙන , අනං මනං සීන් දාන සමිතියක්. මෝලා ඒකෙ අක්‍රීය සාමාජිකයෙක්. කොච්චර අක්‍රීයද කියනව නං නිකං හරියට හීලියම් වගේ. ඉතින් මමයි ඇම්ඩයිත් බෝඩිමට ඇවිල්ල සතියක් යන්න කලින් ඒ සංගමේට බැඳුන. මොනා උනත් උදව්වක් හරි කරතෑකිනෙ කාට හරි. හැබැයි ඕකෙ සභාපති නං තරුණයෙක් නෙවේ. මෑන් අවුරුදු 40ක විතර පොරක්.
ඉතින් හැම මාසෙම සංගමේ සාමාජිකයන්ගෙන් රුපියල් පන්සීය ගානෙ එකතු කරනව පීස් එක විදිහට.
මෝලා නං සත පහක් දුන්නෑ. ඌ හැමදාම සල්ලි එකතු කරන වෙලාවට කොහෙට හරි කැපෙනව. උට පේන්නම බැරි වැඩක් තමා නිකං හේතුවක් නැතුව සල්ලි එකතු කරන එක. ඉතින් ඔහොම ඉඳල දවසක් මෝලා යන්න හදනකොටම සභාපතිතුමා මෝලට කතා කලා.
"දිල්ශාන් මල්ලි. දැන් මාස පහක හයක විතර ඉඳන් සල්ලි දුන්නෑ නේද?. මොකක් හරි හේතුවක් තියෙනවද?"
"ඇයි අහන්නෙ?"
"සංගමේ නීතියක් තියෙනව හැමෝම අදාල මුදල් ප්‍රමාණය ගෙවන්න ඕනෙ කියල. ඉතින් මල්ලිට විතරක් කැලෑ නීතියක් ගේන්න බෑනෙ. නේද?"
"සල්ලි නෑ සීයෙ දෙන්න. සීය දැන් යන්න"
කියල මෝලා , ඒ සීය දිහ බලන්නෙවත් නැතුව කියල දැම්ම. ආ සොරි සීය නෙවේ. සභාපති තුමා.
"දිල්ශාන් මල්ලි හොඳට රස්සාවක් එහෙම කරන කෙනෙක්නෙ. සල්ලි නොදී ඉන්න බැරිකමම් එහෙම නෑනෙ ඉතින්"
ඔන්න ඔය කතාවට මෝලට තද උනා. මම කිව්වනෙ. ඒ කාලෙ ඌනෙ අපේ ලොක්ක වගේ හිටියෙ. ඉතින් අපිට ඌව නවත්තන්න තරන් ගට් එකක් නෑ. මෝලා එක පාටම අර සභාපතිය ගාවට ගිහිල්ල කියෝගෙන කියෝගෙන ගියා.
"තමුසෙ දන්නවද මගෙ ලොකු නැන්දගෙ දුවට බේතක් ගන්න ලක්ශ හයක් හොයන්න ඕනෙ කියල. ඈ... තමුසෙ එච්චර සල්ලි ගානක් හොයන්න දන්නවද?"
"ආ.... නෑ... මල්ලි..."
අර සභාපතියට තියා අපිටත් කට උත්තර නැති උනා මෝලගෙ ඒ කතාවට.
"තමුසෙ දන්නවද මගෙ මාම අඩපණ වෙලා ලෙඩ ඇඳේ ඉන්නෙ කියල. සතියකට පනස්දාහක් විතර ඒ මාමට වියදම් වෙනව කියල"
"අනේ.. සමාවෙන්න මල්ලි"
"තමුසෙ දන්නවද මගෙ අක්ක කෙනෙක්ගෙ මහත්තය දාල ගිහිල්ල එයාටයි ළමයටයි ජීවත් වෙන්නවත් විදිහක් නෑ කියල. ඒ අයටත් කවුරු හරි කෙනෙක් වියදම් කරන්න ඕනෙ කියල."
මෝලා ඒ ටික කියද්දි නං මගෙ ඇහැටත් කඳුලක් ආව. ඇම්ඩ නං අඬනව. අපි හිතුවෙ නෑ මෝලා එච්චර ප්‍රශ්න එක්ක ජීවත් වෙන එකෙක් කියල. අර සභාපතියට කට උත්තර නෑ.
"අනේ සමාවෙන්න මල්ලි. මම දන්නෑ එහෙම දෙයක්"
"ලොකු උන්නැහැ. මෙන්න මේක දැනගන්නව"
"මොකක්ද මල්ලි"
"එච්චර අය ඉඳලත් , එයාලටවත් සත පහක් දෙන්නැති මම , තමුසෙගෙ මේ මගුලෙ සමිතියට සතයක් හරි දෙයි කියල හිතුවද. යනව යන්න වැඩක් බලාගෙන"
ඇම්ඩයි මමයි කන්පියුස්. අර සභාපතියත් කන්පියුස්. ආපු උනුත් කන්පියුස්.
"මෙහෙ වරෙන් බං යන්න"කියාගෙන මෝලා මාවයි ඇම්ඩවයි ඇදන් ආව එතනින්.
පස්සෙ ඌම අපිට කිව්ව අර කියපුව පට්ට බොරු කියල. මොනා උනත් සභාපතිය ආපහු ජීවිතේට සල්ලි නං ඉල්ලන්නෑ. අපි තුන් දෙනාම ඒකෙන් අයින් උනා ඊට පස්සෙ. රෙද්දක් ඇදන් ආපහු යතෑකිද කියහංකො.
ඔන්න ඕකයි මෝලගෙ තරුණ සංගමේ ආතල් එක. ආතල් එකක්ම නෙවේ ඉතින්.
ඔහොම ඔහොම අර බස් එකට නැග්ග සල්ලි එකතු කරන්න ආපු ඩයල් එකත් බැහැල ගියා. මෝලත් කට හෙල්ලුවෙ නෑ. මමත් පළවෙනි පාරට රුපියල් විස්සක් දුන්න ශලනි නිසා.
අපි ඊට පස්සෙ කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැල මගෙ බඩු ටික ගන්න ගියා. ශලනිව අතරමං කරල රශ්මි මගින් බැහැල ගිය නිසා ශලනිත් මාත් එක්කම ආව.
හදිස්සියෙම මෝල මගෙ පිටට තට්ටු කරල කතා කලා.
"ඒ බං. මම පොඩ්ඩක් ෆෝන් එකට බැක් එකක් අරන් එන්නං. තව පොඩි වැඩ ටිකකුත් තියෙනව. උඹල බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ල මට කෝල් එකක් දහන් ඈ"
"ඉතින් යමන් අපිත් එන්නං."
"නෑ නෑ වෙලා යයි බං. ෆෝන් එකේ හදාගන්න දේකුත් තියෙනව. උඹල යන තැනක ගිහිල්ල ඇවිල්ල මට කෝල් එකක් දහන්"
"ආ එල එල"
ශලනිටයි මටයි යනව කියාගෙන මෝලා පල්ලම් බැහැල නොපෙනී ගියා මිනිස්සු අතරෙ. දැන් මමයි ශලනියි විතරයි.
හිතේ පොඩි චකිතයක් එක්කම අමුතු ආතල් එකක් තියෙනව.
"දැන් කොහෙටද යන්නෙ ගිම්හාන්"
ශලනිගෙ කටහඬට අර හිතට ආපු ආතල් එක ගතටත් දැනෙන්න ගත්ත. කෙල්ලෙක් එක්ක මෙහෙම ඩබල් දාල ඇවිදින්නෙ පලවෙනි පාරට මං.
"මගෙ බඩු ගන්නෙ නං අර බෝ ගහ ගාව කඩේකින්. ඔයාට මොනාද ගන්න තියෙන්නෙ."
"මට හෑන්ඩ් බෑග් එකකුයි , නේල් පොලිශ් එකකුයි , බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා....."
ශලනි කියාගෙන කියාගෙන කියාගෙන ගියා හෙන බඩු ලිස්ට් එකක්. හරියට නිකං නත්තල් සීසන් එකට සුපර් මාකට් එකකින් ගහන බැනර් එකක් වගේ ඒ ලිස්ට් එක.
"ඔච්චර ගොඩක්?. කොහෙන්ද ගන්නෙ ඕව"
"ඔයානෙ දන්නෙ ඉතින් කඩවල් ගැන. ඔයාගෙ වැඩේ කරන් එමු මුලින්"
ශලනි කටකාර විදිහට කිව්ව නිසාම මගෙ ගලක් වගේ හිත චීස් කැල්ලක් වගේ වෙලා ගියා.
"නෑ එහෙනං ඔයාගෙ බඩු ටික අරන් ඉමු. මම ගන්නෙ ටිකක් ලොකු බඩු ටිකක්. ඒව උස්සන් එහෙ මෙහෙ ඇවිදින්න අමාරු වෙයි. යමුකො. මම දන්නව තැනක්"
"හරී....."
කියල පොඩි කෙල්ලෙක් වගේ ශලනි හිනා උනා.
අර එදා මුලින්ම දැක්ක දවසෙ සාරියත් එක්ක තිබුණ තැන්පත් කම දැන් නිකංම දඟකාර විදිහට වෙනස් වෙලා.
ආදරේ නම් එන්න මා වෙත චාටු බස් නොකියා.......
බෆල් එකකින් දාල කණ පැලෙන්නම මල් සින්දුවක්. නිකං රෝමයේ සැනකෙලිය වෙලාවෙ ජුලියට් වීනා වයනව වගේ. ශලනිත් මාව මග ඇරෙයි කියල බයටම මට ගෑවෙන නොගෑවෙන ගානට එනව. තාම ඉතින් අපි දෙන්න අඳුනගෙනත් දවස් දෙකකට වඩා නෑනෙ.
"මේකෙන් ගමු. මේකෙ තියෙනව ලේඩීස් අයිටම් ඔක්කොම වගේ"
ටිකකින් මම ලොකු වීදුරු ගහපු ලක්සරි කඩයක් පෙන්නල කිව්ව. මම මීට කලින් එක දවසක් මෙතනට ඇවිල්ල තියෙනව ඇම්ඩත් එක්ක. ඌ උගෙ හොර කෑල්ලකට දෙන්න බ්‍රේස්ලට් එකක් ගන්න මෙතනට ආව. කොටුවෙ උනාට හෙන පිරිසිදුවට ඉඩ කඩ තියෙන තැනක්.
"මේක හෙන ලොකුයිනෙ ගිම්හාන්. අම්මෝ.... බලන්නකො තියෙන ඒවා"
ශලනිගෙ ඇස් දෙක දිලිසෙන හැටි මට හොඳට පෙනුන. මටත් දැනුනෙ මම හෙන වීර වැඩක් කලා වගේ කියල.
"ඔව් ඔව්. බලන්නකො ඕනෙ කරන දේවල් ටික. ඔක්කොම වගේ ඇති මේකෙ. නැති උනොත් අපි වෙන එකකින් ගම්මු"
"හරී... එහෙනං හෑන්ඩ් බෑග් එකකින් පටන් ගමු"
"ගමු ගමු"
ඔය ගෑණු එක්ක කඩවල් වලට යන එක තියෙනව නේද බං. පිරිමින්ට මේ ලෝකෙ එපාම කරපු දෙයක්. බලහල්ලකො ඔය ඇඳුම් කඩේකට එහෙම ගියාම මහත්තුරු ටික සරණාගතයො වගේ අර ඉස්සරහම පුටු පේලියේ වාඩි වෙලා ඉන්නව කම්මුලට අතත් ගහගෙන , නෝනල ඇඳුම් තෝරනකං.
ඉතින් මට උනෙත් එහෙම දෙයක් තමා. ශලනි එක්ක තනියම ඇවිදින්න උනාට මුලදි සතුටු උනත් , එයා හෑන්ඩ්බෑග් එකක් ගන්නම පැයකට වඩා වෙලාව නාස්ති කරපු නිසා මට තිත්ත වෙලා හිටියෙ.
ඒ අස්සෙ සැරින් සැරේ ඇවිල්ල මගෙන් අහනව "මේ දෙකෙන් මොකක්ද ලස්සනම" කියල.
මමත් මුලින්ම ඇහැ යන එක ලස්සනයි කියල ශේප් වෙනව.
ඔය කෙල්ලො එක්ක ශොපින් යන උන්ට පොඩි ටිප් එකක් දෙන්නං. සමීක්ශනයක් මගින් හොයාගෙන තියෙනව හයි හීල්ස් දාගෙන ශොපින් කරනකොට සාමාන්‍යය වෙලාවට වඩා වැඩි වෙලාවක් ඒ වෙනුවෙන් වැය කරනව කියල. මොකද හයි හීල්ස් දාගත්තම ඇඟේ සමබරතාව පවත්වගන්න මොලයෙන් කොටසක් වැය කරනව. ඉතින් බඩු තෝරනකොට මොලේ ෆුල් කැපෑසිටි එකම ඒ වෙනුවෙන් යොදවන්න බෑ.
අන්න ඒ නිසා ඊළඟ පාර කෙල්ලෙක් එක්ක ඇඳුම් ගන්න එහෙම යනකොට ඒකිට පුලුවන් තරන් ෆ්ලැට් සෙරෙප්පු දෙකක් දම්මල එක්කන් යන්න.
පැය දෙකතුනකට පස්සෙ ශලනිගෙ බඩු ටික අරන් එලියට එනකොට ගිනි මද්දහනෙට දවල් වෙලා. කට්ට අවුවෙම මගෙ බඩු ටිකත් අරන් ලන්ච් එකකට ටෝක දැම්ම මං. බිකෝස් ඒ වෙලාවෙ මට ඇපෙන්ඩසයිටිස්... ඔස්ටියෝ පොරෝසයිටීස්... ආතරයිටීස්... ආ නෑ වැරදුනා.. ගැස්ට්‍රයිටීස් තත්වෙකට ඇවිල්ල තිබ්බෙ උදේටත් කෑවෙ නැති නිසා.
"මොනා හරි කාලම යනවද?. ගිහින් කන්න වෙලා යයි ගොඩක්. මටනං බඩගිනී."
"මටත් බඩගිනී ගිම්හාන්. අනිත් අය කෑවද දන්නෑ නේද?"
"රශ්මියි , ඇම්ඩයි නං දැන් බෝඩිමට ගිහිල්ලත් ඇති. මෝලා නං තාම ඇති මේ හරියෙ."
ශලනිට හිනා ගියා එක පාරටම.
"ඇම්ඩගෙයි මෝලගෙයි ඇත්ත නම් දෙක මොකක්ද?"
"ඇම්ඩගෙ නම අමිශ්ක. මෝලගෙ නම දිල්ශාන්. ඒ නම් දෙකෙන් කතා කෙරෙන්නෑ. අර දෙක තමා සෙට් වෙන්නෙ උට"
"ඔයාට මොකක්ද කියන නම එයාල"
"මට නං ඒ වගේ කුජීත නම් නෑ තාම. නිකංම ගිමා කියල කියන්නෙ."
"ශෝක් ශෝක්. මේ හරියෙ කන්න තැනක් දන්නවද ඔයා"
"ඔව් ඔව්. බුරියානි දෙකක් ගහන්න පුලුවන් ප්ලේස් එකක් දන්නව."
මම එහෙම කියල ශලනිවත් එක්කන් ආව කඩේකට. අවුවෙ මැරිල මැරිල ෆෑන් එකක් යටින් ඇවිල්ල වාඩි උනාම ආයෙ ඉතින් සුප්පා ඈ.
ශලනියි මමයි දවල්ටත් කාල , මෝලට කෝල් එකක් දුන්න. ඌත් ආපහු බෝඩිමට ගිහිල්ල. ඇම්ඩයි රශ්මියි දෙන්නත් වෙන කොහෙද යනව කිව්ව. ඉතින් අපි දෙන්න බස් එකට නැග්ග ආපහු බෝඩිමට යන්න.
බස් එකේ ඩබල් සීට් තිබ්බ නිසා මම ශලනිව අයිනට දාල සේපට වාඩි උනා.
මොකද ලොකු ස්ටෙප් එකකට යන්න තරන් තාම ටයිම් මදිනෙ. ඒව සේපට ගහන්න ඕනෙ ගේම් බං. හදිස්සි වෙලා බෑ.
"මහන්සී නේ ගිම්හාන්. මෙහෙ නැති දෙයක් නෑ අනේ. මම එක පාරයි මෙහෙට ඇවිල්ල තියෙන්නෙ."
"ඔයිට වඩා ඒව තියෙනව. ඒකට පොඩ්ඩක් හවස් උනාම එන්න ඕනෙ. දවල්ට නෑ"
මම කියපු දේ ශලනිට තේරුනාද මංද.
මගෙ අතට ගහල,
"මෝඩයා" කියල කිව්ව.
ශලනියි මමයි කායිකව ස්පර්ශ උන පළවෙනි පොට් එක.
එයා හෑන්ඩ් බෑග් එකයි එයාගෙ අනිත් බඩු ටිකයි උකුලෙන් තියන් එලිය බල බල ඉන්නව. මම ගොනා වගේ හොරෙන් එයා දිහා බල බල ඉන්නව.
කොහොමත් සම්බන්ධෙකදි කෙල්ලෙක්ට ලෙවල් අප් කරන්න බෑනෙ. කොල්ලම තමා මූලික වෙලා ඒක කරන්න ඕනෙ. එෆෙයාර් එකක් නෙක්ස්ට් ලෙවල් එකට ගන්න එකේ ප්‍රධානතම සාධකේ කොල්ලනෙ.
ඒ නිසාම මම හිමීට අතක් අරන් ශලනි , ඉස්සරහ සීට් එක උඩින් තියන් හිටපු අත උඩින් තිබ්බ.
එයා ඒ දිහා බලල කට කොනින් පොඩි හිනාවකුත් දාල ආපහු ජනේලෙන් එලිය බලාගත්ත.
මිහිරාව ආවා........... ලල ලාල ලා ලා......
මතු සම්බන්ධයි...