||පරවුනු තාරකා මල් පෙති||
හේතු කියන්නට තරම් හදවත මන්දමානසික නොවන හෝරාවල පවා
නුඹ අහසක් උසට රෝමාන්තික ය
නුඹේ සීතල ඇඟිලිතුඩු අතර තෙරපෙන්නට ආසාවක් මල්වර වූයේ
අත්ල සිදුරුකර හම යටට පසාරු වී ගිය වීදුරු කටුවක් නිසා ය
නමුත් මට ඒ තුරුළ තහනම් ය
විටෙක නුඹව සිහිපත් වී හදවත කකියවන මොහොතක මට සිප ගැනීමට පවා ඉතිරිව ඇත්තේ
දිනපොත තුළ පරෙස්සම් වූ
නුඹ දුන් තාරුකා මලෙහි පරවුනු මල් පෙති පමණි
අමු තණකොල සුවඳ එයින් ගිලිහී ගොස් තිබුණත්
ලෙංගතුකම් අතර නුඹව සිහිපත් කිරීමට තරම් එය ප්‍රමාණවත් විය
මතක මාවත තුළ පයට පෑගී තැලුණු රොබරෝසි මල් හැරුනුකොට පරවූ මල් පෙති අතර ශේෂ වී ඇති මතක එපමනය
...........................................
|| සුදු කමිස පෙරෙට්ටුව ||
සරසවිය තුළ නුඹව දකින අවසන් දිනය එය වේ වි යැයි සිත විස්සෝප කියූවේ මන්ද යැයි නොදනිමි
අතරින් පතර නුඹ මා දෙස බලා හිඳින විට හිත ඇතුලෙන් මා ප්‍රීතිඝෝශා නැංවූවත්
මුව තුළ නොදන්නා නොහඳුනන බවක් තවරා ගත්තේ
නුඹ මාව වටහාවි යන බියෙනි
කෙසේ නමුත් සුදෝසුදුවට කමිස ඇඳි තරුණ මහත්වරුන් අතර කඩවසම්ම ලෙස මගේ දෙනෙත්වල කාන්තිය උකහා ගත්තේ නුඹ ය
තවමත් මම දෙවන වසර සිසුවියක බැවින් එතැනින් එහා දෙයක් දැකීමට මම අපොහොසත් වුනෙමි
නමුත් නුවර අහසට සාප නොතියා
හන්තාන පෙදෙස බලා හිඳ
සියලු ලතැවුල් සුසුම් සේ ඉවතලන්නට තරම්
මා පොහොසත් පුද්ගලයෙකු වූයෙමි
මට නොව මගේ ඇස්වලට පවා අහිමි ලෝකයට අතරමං වෙන්නට තරම්
මා බොලඳ දැ'යි මම නොදනිමි
නමුත් එය මනෝලෝකය තුළ සෛද්ධාන්තිකව පමණක් අත් විඳීමට එතැන් පටන් මම තීරණය කලෙමි......
මතු සම්බන්ධයි......!!
__අහස්__