(කෙටි කතාවකි)
නිතරෝම සන්තාපලන
සුසුම් කැටි තැවරුනේ
රොබරෝසි මල් අතු අතරම නොවේ
ඉඳ හිටක නුඹේ නෙත් මායිම්වල ය
සඳට අපමණක් සිත් තැවුල් කීවත්
අහංකාර මේඝ පර්වත
විටෙක ඒ සඳ එළිය යටපත්කරගන්නා විට,,
සඳට ඇසෙන්නට ඇත්තේ
මේඝ දූතයන් සඳට ගෙන ආ පෙම් පණිවිඩ දෝංකාර දෙන හඬ ය
මොකුත් නොකියා ම නුඹ දෙස බලා හිඳීමෙන් ද පලක් නැත
නුඹ නොදන්නා දහසක් හැඟීම් එකට කැටි කොට
දෙන්නට කියා ලියූ හසුන්
මගේ ලජ්ජාශීලී දෑත් මත ගුලිවී
කොතරම් නම් මහවැලියේ දියබත් වන්නට ඇති ද
ඒ සියල්ල අරබයා
ඔබ ම විත් ආදරය කියූ හැටි පුදුමාකාර ය
රත් පැහැති දෑත් මත ගුලිවී තිබූ තාරුකා මල
එතෙක් රූරා වැටෙන්නට නියමිතව තිබූ
කඳුලු කැටයේ වසන්තය විය යුතු ය
එතැන් පටන් ගොලු වූ හදවත
නහර ඉලිප්පී
නලියන්නට පටන්ගත් විට
මා කොතෙක් විලිබරවී ද යත්
එය ගනන් සෑදිය නොහැකි තරම් ය
ප්‍රාර්ථනා අපමණක් ලඟ වෙලී
මා ඔබට පිළිතුරක් නොදීම පිටමංවූයේ
ඒ සතුට දරාගත නොහැකි තරම් බැවිනි
නමුත් නුඹ ට කිසිදිනෙක මගේ වීමට හෝ
මට කිසි ම දිනෙක නුඹේ වීමට
සරසවි බිම තුළ
වරම් අහිමි ය
හිරිකුඹුර අස්වද්දන්නට
සියල්ලෝම මගෙන් බලාපොරොත්තු වූයේ
පාවහන් පලඳින සිනිඳු දෙපයක අයිතිකරුවෙක් නොවේ
නුඹේ ඉහල පැලැන්ති යේ තරමට ගැලපෙන්නේ
ගොවි පවුලක තරුණියක් ද නොවේ
බිම බලාගෙන ම ආපිට හැරී නුඹේ විලිබර දෑස් දෙස නොබලා ගියත්
මට හැරී බලන්නට හිතුනු වාර නම් අනන්තවත් විය
නමුත් නුඹත් මට මම තරමට ම පෙම් බඳින බව දැන ගැනීමේ සතුට ම ප්‍රමාණවත් විය
එනිසා ම ප්‍රේමය යන්න
ආත්ම තෘප්තිය උදෙසා පමණක්
හිත හීලෑ වූ තවත් එක් හැඟීමක් බවට
එදා මෙන් ම අදටත්
මගේ හදවත විශ්වාස කරන
අසම්මත මතයක් විය
මතු සම්බන්ධයි.....!!
__අහස්__