පෙනෙන නොපෙනෙන තරම් දුර ඉඳ
උදුල සොඳුරුව නොයෙක තරු කැට
තිරය පසුපස අපට නොපෙනෙන
පුළිඟු ගුලියක් තරුව වී ඇත
නිතර හමුවන නොයෙක මිනිසුන්
අපට පෙන්වා සොඳුරු වත ගොත
සිහිය ගනු පුත තරුව විලසින්
නොදුටු කොටසක් එහිද සතු ඇත
දිනෙක හැරදා යා යුතුව ඇති
මෙලොව කුමටද සතුරු සොර සිත
පාලු මඟ සග වූව මිනිසුනි
සැමට එක ලෙස පුදනු මෙත් සිත
වහා බිඳෙන සුලු කැඩපතක් වැනි
සියුම් සුකුමල වූව මේ හිත
නැවත උපතක් යදින මිනිසුනි
බිඳුනහොත් යළි සදනු ඉඩ නැත
එකට වට වී එක ලෙසින් හිඳ
කරට අත දා කමින් බත් පත
පිටින් අත දා උල් කිනිසි ගෙන
අනින බියගුලු කලක් අද ඇත
නීතියේ දෙව් පවා වසලව
වසා කලු රෙදි කඩින් සිය නෙත
ගැත්තො රිසි ලෙස මැර බලෙන් අද
මඟ තොටත් මර තැන් කරන් ඇත
ඉතින් මිනිසුනි තවත් මේ ලොව
හිඳිනු බැහැ යැයි තව හිතුනු තැන
දරා ඉවසනු මැන මදක් තව
මරු මුඛට ගෙල ඇප නොවනු මැන
> අනුශාන් මලින්ත 🤍