#හිමියනි.... 🤍
සඳද හිනැහී ලොවක් නිදි කළ තරුත් පීදුනු රෑ පුරා
ගෙපිල අයිනේ පැදුර එළලා හිටියා මගෙ පණ එන තුරා
තරුවකම වී මෙමා බැලුමට ඒවි යැයි දෙව් පිරිවරා
ඊයෙ හවසත් බෝධි නහවා ඔබෙ නමට මං පිං කරා
අහෝ පිං කඳ මටත් හිතුනා විටෙක දිවියෙන් නවතිමි
ඔබෙ ලෙයින් මුව කමල දිලි ඔබෙ පුතු බැවින් මා ඉවසමි
දිවිය අත් හැර ඔබ වෙතට එනු බැරිව පුතු වී බැඳි බැමි
බැඳි බැමි ද වුව ඔබෙ පුතුන් බැව් ඔහුද රැක මා සිටිනෙමි
අදත් හේනේ ඈත හිනැහෙයි ඔබද පෑයූ ඒ සොමි
පුරුද්දට සේ අත වනා ඔබ එන මඟදි මම හිනැහෙමි
කඳුලු පිසදා හිස ද අත ගා යන්න මා මැණිකේ වෙමි
මෙයද කටුසර දිවිය ළඳකට හිමි නොමැති කලකට හිමි
දුකින් මුත් මා තුන් මසක් වුව පුතුට කිරි ඇත මට එරී
තුන් මසක් ගිය වුවත් මට තව හිමි නැතිව ඉනුනම් බැරී
එදා ඔබ ගිය විටෙදි හේනට බලා මා දෙස යළි හැරී
එබව දළ ගිජිඳුන්ට කියුමට දෙවිඳු හට වුනෙ ඇයි බැරී
එදා මහ රෑ දළට හසු වී තනිව මගෙ හිමි වැනසුනා
පුතුට දෙමසයි පිය සෙනෙහෙ ලැබ ගැනුම පුතු හට බැරි වුනා
දුකට ඔබ එන මඟෙහි හිටි මට මිදුලෙ ඔබෙ ගැන ලියවුනා
පුතුට දුන් පසු බෙදා බත් කට දංකුඩත් මට රස වුනා
කුසට නො අඩුව බත් කටක් දී මාව රැකු මගෙ හිමියනී
ඔබත් වැළලී ගියා පොළොවට දෙ ඇස් මානයෙ පෙනි පෙනී
නිසල ඔබ හට නොවී හීතල වැටී නොම ඉනු මැන පිණී
සිහිනයෙන් හෝ කියා මට ඔබ යන්න තුසිතෙට හිමියනී
හිමිට කියනෙමි මගේ දුක මා ඔබට නැහෙමින් පෙම් කළා
දළට බිලි වී තනිව ඔබ පෙර දිනෙක ගියෙ දෙව් ලොව බලා
සිහිය විත් ඔබ ගැනම මැදි රෑ පැලේ දොරකොඩටම වෙලා
පවන පතුරයි හැඩට ඔබෙ ඒ රාව වස් බට දඬු නලා
අනුශාන් මලින්ත ❤🩹✨