
අදත් නුවර අහස බරවෙලා. වැව රවුමේ මම ඉන්න මේ බංකුවට හීන් වැහිපොද වැටෙන්න අරන්. මේ හැම වැහි බිංදුවක් ම වගේ හිතේ තියෙන පරණ තුවාලය ආයෙත් පාරනවා වගේ.
මම ඇස් දෙක පියාගත්තා.. මට මැවිලා පේනවා අවුරුදු කිහිපයකට කලින් මේ වගේම මම එයත් එක්ක ගතකරපු වැහිබර හවස්.
එයාව මට මුණගැස්සුවෙත් මේ වගේ නුවර වැව රවුමට වහින ලස්සන වැස්සක් ම තමයි,
එදා නුවර වැව රවුමට වැස්ස වැටුනේ එකපාරට ම, මම කුඩේ ඉහළගෙන වැව රවුම දිගේ ටිකක් හයියෙන් ඇවිදගෙන යද්දි තමයි දැක්කේ, මහ වැස්සෙන් බේරෙන්න මාර ගහක් යටට වෙලා ඇය ඉන්නවා.
ඔයා ඇඳගෙන හිටපු රෝස පාට ගවුම වැස්සට තෙමිලා. අත්දෙකෙන් උරහිස් බදාගෙන හීතලට ගැහෙන ඔයාව දැක්කම පිච්චුනේ මගේ පපුව.
මම දන්නෙම නැතුව ඔයා ගාවට ගියා. ඇත්තම කිව්වොත් ගියා නෙමෙයි, ඔයා ගාවට යැවුනා. මට අද වගේ මතකයි, කුඩේ ඔයාගෙ පැත්තට අල්ලලා මම ඇහුවා,
*" අයියෝහ් නංගි, ඔයා ගොඩක් තෙමිලනේ...කොහෙටද යන්න ඕනේ..?"*
ඔයා එකපාරට ම ගැස්සිලා මං දිහා බැලුවා. හරියට කැළේ ඉන්න සිංහයෙකුට බයවෙච්ච මුව පොව්වෙක් වගේ.
ඒ ලොකු ඇස් දෙකේ තිබුණු අසරණකම මට තාම මතකයි.
*" මං..මං බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ...කුඩේ අමතක වුනානේ..."*
ඔයා මට කිව්වේ වෙව්ලන හඬින්.
*" බයවෙන්න එපා...මාත් ඒ පැත්තටමයි යන්නේ....එන්න යමු...."*
අපි දෙන්නා එක ම කුඩයක් යටට වුනා. මම කුඩේ වැඩිපුර ම එයාගෙ පැත්තට ඇල්ලුවේ ඔයා තෙමෙයි, තෙමිලා ලෙඩවෙයි කියන බයට.
පදික වේදිකාව දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන යද්දි නුවර වැවට වැටෙන වැස්ස දිහා බලලා ඔයා හීන් හඬින් මෙහෙම කිව්වා,
*" නුවර වැස්ස හරි ලස්සනයි නේද...?"*
*" ඔව්, හැබැයි මේ වගේ වැස්සක තනියම ඉන්න එක තමයි අමාරුම..."*
මම හිනාවෙලා කිව්වා.
ඔයාට මතකද, එදා තමයි අපේ කතාව පටන් ගත්තේ.
එදා හවස අපි වැව රවුම වටේ පැය ගනන් ඇවිද්දා.
බස් එකේ ඉක්මනට ගෙදර යන්න ඕනේ කියලා කියපු ඔයා වැස්ස පායනකම් නුවර වැව රවුමේ තියෙන ගල් බංකුවක වාඩිවෙලා ගොඩක් දේවල් කතා කරකර හිටියා. ඒ වෙලාවේ මට දැනුනේ ඔයාව මම හරියට ආත්ම ගානක ඉඳන් අඳුරනවා වගේ.
*" නුවරට වහිනකොට මේ වැව බලන් ඉන්න එක තරම් සැනසීමක් තවත් නැතුව ඇති නේද..?"*
එදා මම වැව දිහා බලාගෙන හීන් හඬින් ඔයාගෙන් ඇහුවේ මේ වගේ වැස්ස වැටෙන වෙලාවක මේ වගේ මෙහෙම ගල් බංකුවක වාඩිවෙලා නුවර වැවට සිහින් වැහි බිංදු වැටෙන විදිය බලන් ඉන්න එක මම ආසම දෙයක් නිසයි.
*" ඇත්තටම...ඒත් මේ වැස්සට තියෙන්නේ මහ අමුතු පාලුවක්...අර බලන්න අර මීදුම...වැව මැදට එන විදිහ..."*
ඔයා කිව්වේ, ටිකක් තිගැස්සිලා වගේ මං දිහා බලාගෙන.
*" ඔව්, හරියට නුවර වැව සුදු රෙද්දකින් වහනවා වගේ...අර ඈතින් පේන දළඳා මාළිගාවේ රන් වහල වැස්සට තෙමිලා දිලිසෙන විදිහ බලන්න...ඒක හරිම නිහඬයි...ඒත් ගොඩක් දේවල් කියනවා වගේ..."*
*" සමහරවිට, මේ නුවර නගරයේ තියෙන කලබලකාරී බව මේ වැස්ස මොහොතකට නතරකරලා දාලා..මම හැමදාම මේ පාරේ ගියත් අදයි දැක්කේ වැහි බිංදු වැවට වැටෙන කොට ඇතිවෙන ඒ පොඩි රිද්මය..."*
*" ඒක නිකම් සංගීතයක් වගේ...හැම බිංදුවක් ම වැවට වැටෙන්නේ වෙනස් ම තාලෙකකට...අපි හුඟක් වෙලාවට මේ වගේ පුංචි ලස්සන දේවල් මගහරිනවා නේද...?"*
*" ඇත්ත..නාඳුනන දෙන්නෙක් වුනත් මේ වැස්ස අපිට එක ම විදියට දැනෙනවා කියන එකත් පුදුමයිනේ..."*
ඔයා මට කිව්වේ, නිහඬව මා දිහා බොහෝ වෙලාවක් බලාගෙන ඉඳලා. අපි දෙන්නා ගැන හිතද්දි ඒ කතාවත් ඇත්ත තමයි කියලා මට හිතුනා.
*" නුවර වැස්ස කියන්නේ එහෙම දෙයක්....ඒක මිනිස්සුන්ව මොහොතකට නතරකරලා එක ම හැඟීමකට ගේනවා...තව ටිකකින් වැස්ස පෑව්වම අපි ආයෙත් නන්නාඳුනන දෙන්නෙක් වෙලා අපේ ගමන යයි...ඒත් මේ මතකය වැව රවුමේ ඉතුරුවෙයි..."*
ඒ වෙලාවේ මම ඔයා දිහා බලාගෙන එහෙම කිව්වේ ටිකක් විතර දුකින්. අනේමන්දා, ඔයාගෙන් ඈත්වෙලා යන්න බැරි ගතියක් ඒ වෙලාවේ මට දැනුනා.
*" ඔයා හැමදාම මේ වැව රවුමට එනවද...?"*
ඔයා මගෙන් ඇහුවා.
*" මම මෙතනට හරි ආදරෙයි....හිතට නිදහසක් ඕන වුනාම එන්නේ මෙතනට..."*
*" මාත් එහෙමයි...දන්නවද? මම හිතනවා මේ වැව රවුමට පුලුවන් කියලා මිනිස්සුන්ගේ රහස් හංගන්න..."*
එදා ඔයා මෙතන ම ඉඳගෙන මේ වැව දිහා බලාගෙන කිව්වේ හරිම ගැඹුරු හඬකින්.
ඊට පස්සේ, අපි හැමදාම මුණගැහුනා.
මේ වැව රවුම තමයි අපේ ආදරේ පන්සල වුනේ. අපි වටවංගු පාරේ ඇවිදිනකොට, ඔයා මගේ අත තදින් බදාගෙන අල්ලගෙන මෙහෙම කියනවා,
*" අපි කවදාවත් වෙන්වෙන්නේ නෑ නේද...මේ වැව රවුම වගේ ම අපේ ආදරෙත් හැමදාම තියෙයි නේද...?"*
ඒ වෙලාවේ මම ඔයාගේ නළල සිපගෙන කිව්වේ,
*" ඔව් රත්තරන්, මේ වැව හිඳිලා ගියත් මගේ ආදරේ නම් හිඳෙන්නේ නෑ..."*
කියලා.
ඒත් දෛවය....හරිම සරදම් සහගතයි. අද මම මේ බංකුවේ ඉන්නේ තනියම. ඔයා අද මගේ ළඟ නෑ. අපේ ආදර කතාව මේ වැහි බිංදු වගේ ම මහ පොළවට දියවෙලා ගිහින්. ඒත් මේ වැව රවුමේ හැම බංකුවක ම හැම ගහක ම අපේ ආදරේ දෝංකාර දෙනවා මට ඇහෙනවා.
*" නුවර වැස්ස හරි ලස්සනයි නේද...?"*
කියලා ඔයා එදා අහපු ඒ හඬ අදටත් මගේ කන් අඩියේ රැවුදෙනවා.
ඔව් වැස්ස ලස්සනයි...හැබැයි ඔයා නැති වැස්ස හරි ම පාලුයි..
වැස්ස දැන් තවත් තදකරලා වැව මතුපිටින් ලොකු මීදුම් පටලයක් ඇඳිලා එනවා. මම මගේ හදවතේ තියෙන මතක පොතේ පිටු එකින් එක පෙරලන්න ගත්තා.
අපි මුණගැහිලා මාස කිහිපයක් ගෙවුණු තැන, තවත් මේ වගේ ම වැහි දවසක අපි දෙන්නා වැව රවුමේ පන්සල පැත්තේ කෙළවරේ තියෙන බංකුවක වාඩිවෙලා හිටියා. එදා ඔයා හිටියේ වෙනදාට වඩා ටිකක් නිහඬව.
*" මොකද අද මේ මෙයා ස්පීකරේ ඕෆ්කරගෙන..."*
මං ඔයාගෙ අතක් මගේ අත උඩට ගන්න ගමන් ඇහුවේ, වෙනදා තොර තෝංචියක් නැතුව කියවන කෙල්ල අද නිශ්ශබ්දව ඉන්න නිසා.
ඔයා වැව දිහා බලාගෙන හීල්ලුවා.
*" මට බයයි..."*
*" මොකටද බය..?"*
*" මේ හැමදේම හීනයක් වෙයි කියලා...මේ වැස්ස, මේ වැව රවුම...විශේෂයෙන් ම ඔයා...මේ හැමදේම එකපාර ම හීනයක් වෙයි කියලා..."*
එයාගේ ඇස්වල කඳුළු දිලිසෙනවා මම දැක්කා.
මම ඔයාව මගේ පපුවට තුරුල් කර ගත්තා.
*" පිස්සු කෙල්ල...මං ඉන්නවනේ.. මේ වැව රවුම සාක්කි දරයි...අපේ ආදරේට...බලන්න අර පේන දළඳා මාළිගාව දිහා... ඒ පිංබිම අද්දර ඉඳන් මං ඔයාට පොරොන්දුවෙනවා මොන දේ වුනත් මං ඔයාව අත්හරින්නේ නෑ කියලා..."*
එදා ඔයා මගේ පපුවට ඔලුව තියන් හිටියේ ලොකු සහනෙකින්
මතකද දවසක්, වැස්ස ගොඩක් තදවෙලා පාරවල් මඩවෙලා තිබුණු දවසක ඔයා දාගෙන හිටපු සෙරෙප්පු දෙක මඩේ එරුණා...
*" අයියෝහ්, මගේ සෙරෙප්පු දෙක ඉවරයි.."*
ඔයා මූණ ඇඹුල් කරගෙන හිටියේ කිව්වේ හරියට ලොකු විනාශයක් වුනා වගෙයි.
මම එදා හිනාවෙවී ඔයාව වඩාගෙන මඩ නැති තැනකින් තිබ්බා.
*" ඕක මොකක්ද සුද්දී...මම ඔයාට අලුත් සෙරෙප්පු දෙකක් අරන් දෙන්නම්..."*
කියලා මං කියද්දි ඔයා මගේ ඇස් දිහා කෙළින් ම බලලා කියද්දි ඔයා මගේ ඇස් දිහා කෙළින්ම බලලා මෙහෙම කිව්වා.
*" මට සෙරෙප්පු ඕනේ නෑ...මාව හැමදාම මේ වගේ ම පරිස්සම් කර ගන්න විතරක් පොරොන්දු වෙන්න..."*
එදා ඔයා අල්ලපු ඒ අත අද මට දැනෙන්නේ හිස් අවකාශයක් විතරයි. වැව රවුමේ පඩි පෙළ උඩ වාඩිවෙලා.
වැවට පාන් කෑලි දදා මාළු දිහා බලාගෙන අපි පැය ගණන් සැලසුම් කළේ අපේ අනාගතය.
ඔයාට ඕන වුනේ, නුවරට පේන කන්දක පුංචි ගෙයක් හදනවා.
*" අයියේ...අපේ ගෙදර සාලේ ජනේලෙන් අපිට වැව රවුම පේන්න ඕනේ...එතකොට අපිට පුළුවන් හැමදාම මේ වැස්ස දිහා බලන් ඉන්න..."*
ඒත් අද ඒ ජනේලෙන් වැස්ස දිහා බලන්න ඔයා නෑ. දෛවය ඒ හීන මාළිගාව එක මොහොතින් බිමට සමතලා කළා. අපි දෙන්නා එකතු වෙලා වැව රවුමේ හිටපු ඒ මතක විතරයි මට අද ඉතිරිවෙලා තියෙන්නේ.
වෙන ආදර වන්තයොන්ට වගේ අපිට ප්රශ්න වුනේ සල්ලි නෙමෙයි. කුලයයි පරම්පරාවයි. ඔයාගෙ තාත්තාගෙ පුහු මාන්නයයි , ආඩම්බරකමයි නිසා තමයි මට මෙහෙම වුනේ.
𝗧𝗛𝗘 𝗘𝗡𝗗
༺꧂༺༺༻༻༻༻༻༻༻༻༻༻꧁
`මතක වැස්ස....`
නුවර අහස අළු පාට වී
හන්තාන මීදුමෙන් වැසී යන සැඳෑවක
අදත් මම තනියම හිඳිමි...
එදා අපි මුණගැහුණු වැව රවුමේ ඒ බංකුව මත
එක ම කුඩයක් යටට වී
නුඹ මගේ අත තදින් අල්ලා ගත් එදා,
වැව් බිංදු වැව මත මැවු රවුම් දෙස බලා
අප ගෙතූ හීන මාළිගා තවමත් මා අසලමය.
✍️ Sachith pramod