‘’මේ දහවෙනිදා වෙඩින් එකක් තියෙනවා. වෙන වැඩක් දාගන්න එපා හොඳේ. කැන්ඩිවල..’’
රශ්මි කිව්වේ පළවෙනිදා. නුවන් ඇඟිලිවලින් නළල මිරිකුවා.
‘’කැන්ඩිද?’’
‘’ඔව්. අමායා එකේ..’’
‘’යන්නම ඕන එකක්ද?’’
‘’ඔව්. යන්නම ඕනි. මගේ ස්කූල් කාලේ හොඳම යාළුවා..’’
කතාව එච්චරයි. දහවෙනිදාට තව දවස් තියෙනවානේ. නුවන් හිතුවා.
‘’අනිද්දා අර වෙඩින් එක..හෙට ගිහින් නැවතිලා උදේ වෙඩින් එකට යන්න ඕනි..’’
‘’නවතින්නත් වෙනවද? උදෙන්ම ගිහින් එමු..’’
‘’බෑ බෑ. පෝරුව සෙරමනිවලට ඉන්නෝන…’’
කොහොමහරි නුවන් එන්න කැමති වුණා. දෙන්නත් එක්ක නමවෙනිදා හවස කැන්ඩි එන්න පිටත්වුණා.
අමායා එකේම ඉන්නෝන කිව්වේ රශ්මියි.
‘’දාන එකේ හොඳම දඩ දාන්නේ ඔයා..’’
රශ්මි මොනවත් කිව්වේ නෑ. මෙයා එක්ක නැත්නම් බෑ.
කොහොමහරි හත වෙද්දී කැන්ඩි අමායා හිල්ස්වලට ආවා.
‘’වොෂ් එකක් දාගන්න ඔයා..’’
‘’ම්..’’
නුවන් ඉන්නේ ටිකක් නොරිස්සුමින්. මේ ගමන එන්න වුණාට එච්චරම කැමති නෑ. රශ්මි ඒක දන්නවා.
නුවන් වොෂ් එකක් දාගෙන ආවා. සරමක් විතරක් දාගෙන අමායා එකේ බැල්කනියට ඇවිත් ඔහේ කඳු දෙස බලාගෙන උන්නා. රශ්මිත් වොෂ් එකක් දාගෙන ආවා. ලස්සන නයිට් ගවුමක් ඇඳන්.
‘’කවුද බබා ඉතින් මේ බඳින්නේ. මම දන්නෙවත් නෑනේ..’’
රශ්මි සිනාසුණා.
‘’මතක නෑ..’’
‘’නෑනේ..නම මොකක්ද?’’
‘’බ්‍රයිඩ්ගේ නම රශ්මි මධුවන්ති අත්තනායක. ග්රෑම්ගේ නම නුවන් මෙන්දක සමරනායක…’’
රශ්මි කඳු දෙස බලාගෙන කිව්වා. නුවන් ඇස් ලොකුකරගෙන බලාගෙන උන්නා.
‘’මේ අ..පි දෙන්නනේ..’’
‘’ඔව්. මතක නෑ..’’
‘’මොකක්ද?’’
‘’අවුරුදු තුනකට කළින් බැන්ඳේ සිරියාවතීවද? කුසුමලතාවද?’’
රශ්මි අහක බලාගෙන ඇහුවා.
‘’මේ මේ…’’
‘’මේ මේ නෙමේ. අද කවදද?’’
‘’අ..ද මේ. මා..ර්..තු න..ම..ය..’’
‘’ඉතින්. මාර්තු නමවෙනිදා බැන්ඳේ කාවද කියලා මතක නැද්ද?’’
දැන් රශ්මිට කාලි මෑනි ආවේස වෙලා ඉන්නේ.
‘’හු..ටා අපි බැන්ඳේ අදනේ නේද?’’
නුවන් ඔළුව කසමින් කිව්වා. රශ්මි අත්දෙක බැඳගෙන කඳු දෙස බලාගෙන උන්නා.
‘’මේ කැන්ඩි ආවේ ඇනිවර්සරි එක සමරන්න නෙමෙයි. බැඳලා කියලා මතක් කරලා දෙන්න. අපි බැඳලා හනිමූන් ආවේ මෙහේ…කන්න මෙනාවාහරි ඕඩර් කරන්න. කාලා නිදාගන්න..’’
රශ්මි කඩාගෙන බැල්කනියෙන් කාමරයට ආවා. නුවන් කොර ගසමින් වගේ ඇය පිටුපස ආවා.
‘’ස..මා..වෙ..න්..නෝ..න අ..පේ නෝ..නා..’’
නුවන් අත්දෙකම එකතුකරලා කිව්වා. රශ්මි ඇඳ උඩ ඉඳගත්තා.
‘’මේ කාමරේට හොර කපල් එකක් ආවත් බදාගෙන ඉන්නේ. හොරාට හරි. බැඳපු මිනිහා එක්ක ආවාම කාලා බුදියගන්නෝන. හෙට ඇති වෙඩින් එකක් නෑ. කාලා නිදාගෙන පාන්දරම යමු කොළඹ…’’
රශ්මි දුකෙන් නමුත් ස්ථිරවම කිව්වා. නුවන් අසරණව ඇවිත් ඉඳගත්තා.
‘’මම අන්තිම නරකයි..’’
ඔහු තමාටම වගේ කියාගත්තා.
‘’තුනක් යද්දී බැඳපු දවස අමතකයි. තව දෙක තුනක් ගියාම බැඳපු ගෑනිත් අමතකයි. ඒක නරකයි තමයි. ආස දෙයක් ගෙන්නගෙන බීලා ආස දෙයක් කන්න ඕඩර් කරන්න. මට ඔය මොක වුනත් එකයි..’’
ඇය කීවේ කොට්ටයක් බදාගෙන.
`you better understand this..`
_✍️ සුජීව ප්‍රසන්න ආරච්චි_
(උපුටාගැනීමකි)