දිනය - 2024 අද වගේ දවසක.. 🌚
ස්ථානය - ලන්ඩනයේ බේකර් වීදියේ නිවසක උඩුමහල.
- එතකොට ඩොක්ටර් වොට්සන් ඇත්තටම මොකද්ද වුනේ..?
හඩ්සන් මහත්මිය පිලිගැන්වූ කෝපි කෝප්පය අතට ගෙන ඇය පිටවයන ආකාරය දෙස ඒකාකාරී බැල්මෙන් තප්පර බැල්මකින් බලාසිටි විදෙස්ජාතික පරිවර්තකයා අවසානයේ උණු කෝපි උගුරක් ශරීරගතකරගෙන ඔහු ඉදිරියේ ගිනි උදුන අසල අසුන්ගෙනසිටි උඩුරැවුල්කරුවා දෙස බලා හඬ අවදිකලේය.
- “ඇත්තටම මොකද්ද වුනේ " නෙවෙයි මෙන්ඩිස් මහත්තයා!!!!!! "කොහොමද වුනේ කියලා අහන්න…"
- මොනවා.. මොනවා..
ඔව් මෙන්ඩිස් මහත්තයා.. ඒක මෙහෙමයි වුනේ. ප්‍රේක්ෂකයනට ඉදිරිපත් කරන්න පහසුවෙන්නත් එක්ක මම මෙහෙම කියන්නම්..
පහුගිය කාලේ එංගලන්තයේ ලන්ඩන් නුවර එලිසබත් කියලා රැජිනක් හිටියා. ඒ කාලෙ ශර්ලොක් හෝම්ස් මහත්තයා උපන්නේ ගැල්වෙළඳාමේ යන පවුලක. දැන් ඔබ අහයි කාර්මික විප්ලවයක් වුනාට පස්සෙ මොනෞත්තකටද ගැල් වෙළඳාමේ යන්නෙ කියලා.. එච්චර දුර හිතන්න එපා මම කියන දේ විතරක් මතකෙ තියාගන්න..
ඉතින් හෝම්ස් තරුණ වයසට පත් වෙලා ඒ ගැල්වෙළඳාම සරුවට කළා. ගැල් පන්සියයක් අරගෙනයි වෙළඳාම් කළේ. කලකට උතුරේ ඇස්කිමෝවරුන් ඉන්න පැත්තට යනවා. කලකට අප්‍රිකානු කාන්තාර පැත්තට යනවා.
ඔය අතරේ ලන්ඩන් නුවරම තවත් ගැල්වෙළඳාම් කරුවෙක් හිටියා. හැබැයි ඔහු කපටියි. සහයෝගයෙන් වැඩ කරන්න දන්නෙ නැහැ. ඔහු "තරඟයට" වගෙයි වෙළඳාම් කළේ. 😉
දවසක් හෝම්ස් ගැල් පන්සියයක වටිනා බඩු පිරෙව්වා. අප්‍රිකාව පැත්තට වෙළඳාමේ යන්ට සූදානම් වුනා. එතකොට අර කපටි ගැල් වෙළෙන්ඳාත් තමන්ගේ ගැල් පන්සියය සූදානම් කරගත්තා. ඔහුත් අප්‍රිකාව පැත්තටයි යන්න හදන්නේ. එතකොට හෝම්ස් මෙහෙම සිතුවා.
“දැන් මේ ගැල් වෙළෙන්ඳත් මා සමඟ ම යන්ට ආවොත් අපි දෙගොල්ලම අමාරුවේ වැටෙනවා. ගවයන්ටත් තණකොළ නැතිවෙනවා. ඒ නිසා දෙන්නා ගෙන් එක්කෙනෙක් ඉස්සෙල්ලා යන්ට ඕනා. අනිත් කෙනා පස්සෙ යන්ට ඕනා”
ඉතින් ශර්ලොක් වෙළෙන්ඳා අර වෙළෙන්ඳාට කතා කළා.
“මේ… මිත්‍රයා… අපි දෙන්නාම එක්වරම වෙළඳාමට යන එක දෙන්නාටම කරදරයක්. ඒ නිසා අපි කවුරු හරි ඉස්සර වෙමු. දැන් එතකොට කලින්ම යන්නෙ ඔබ ද? මම ද?”
එතකොට කපටි ගැල්වෙළෙන්ඳා මෙහෙම සිතුවා. “මං කලින් ගියොත් වාසි ගොඩක් තියෙනවා. ගවයන්ට තණ තියෙනවා. අපට වෑංජන වලට පලාවර්ග ලැබෙනවා. ජල පහසුව ලැබෙනවා. බඩුත් විකුණගන්ට ලැබෙනවා” කියලා.
“එහෙනම් යහළුවා…. මං ඉස්සර වෙලා යන්නම්” කියලා ඔහු වේලාසනින් පිටත් වුනා.
එතකොට හෝම්ස් තමන්ගෙ දුම් පයිප්පයට ඉස්තරම්ම වර්ගයේ දුංකොළ ටිකක් පුරවන ගමන් මෙහෙමයි සිතුවා.
“ඒකත් හොඳා…. පස්සෙ පිටත් වෙන මගේ ගවයන්ට කලින් ගවයන් කෑ තැනින් නැගි අලුත් තණ කන්ට පුළුවනි. අලුත් පලා දළු අපට උයන්ට ගන්ටත් පුළුවනි. එයාල අලුතින් හදන ජලපහසුකම් වලින් අපට ප්‍රයෝජන ගන්ටත් පුළුවනි. ඔවුන් කලින් විකුණූ බඩු මිලට ම බඩු විකුණගන්ටත් පුළුවනි” කියලා.
ඉතින් අර කපටි ගැල්වෙළෙන්ඳා ඉතා සතුටින් ගැල් පිරිවර ගෙන පිටත් වුනා.අප්‍රිකානු කාන්තාර ප්‍රදේශයටත් ආවා. ඒක නිරුදක කතරක්. පේනතෙක් මානෙ වැලි. තද අව්වට වැල්ල කැකෑරෙනවා. ගිනි රස්නෙ. දිය බිඳක් පේන තෙක් මානෙ නෑ. කෑම් බීම් කිසිවක් නෑ. ඔය නිරුදක කතරේ හරියට අමනුස්සයෝ ඉන්නවා. ඔවුන් ගැල්කරුවන්ව මුළා කරවනවා. බිලි ගන්නවා. ඒ කාන්තාරයයේ එක් පසකින් සැතපුම් සිය ගානක් තරණය කරන්න තියෙනවා. ඔය බිහිසුනු වැලි කතරටයි දැන් ගැල් පන්සියය බැසගත්තේ.
අමනුස්සයන් මොවුන්ව දැක්කා. කාන්තාරයේ මැදට එනකල් සිටියා. ලස්සන තරුණ සුදු ගවයන් යෙදූ කරත්ත මවා ගත්තා. දිය බේරෙන මහනෙල් මල් මාලා පැළඳගත්තා. ලස්සන මිනිසුන්ගේ වෙස් ගත්තා. ඔවුන් ගේ වස්ත්‍රත් තෙතයි. කොණ්ඩෙනුත් දිය බේරෙනවා. මේ දැන් පැන් පොකුණකින් ගොඩට ආවා වගෙයි. කරත්ත රෝද වලත් මඩ තැවරිලා. ඔවුන් සිනාසෙමින් සිංදු කිය කියා නෙළුම් අල කකා ඒ කරත්ත වලින් ඉදිරියට එනවා.
ප්‍රධාන ගැල් නායකයා තමයි සියලු වගකීම් දැරිය යුත්තේ. ඉදිරියෙන් සුළඟ හමද්දී ඔහු පිරිස් පිරිවරා ගෙන දුහුවිලි වළක්වමින් ඉදිරියෙන් යනවා. පසුපසින් සුළඟ හමද්දී ඔහු පසුපසින් යනවා. එදා ඉදිරිපසින් සුළඟ හැමුවේ. ඒ නිසා ඔහු ඉදිරියෙන් ගියා.
දැන් මේ ගැල් නායකයා ඉදිරියෙන් එද්දී අමනුස්සයෙක් තමන්ගේ කරත්තේ මගින් බැහැර කොට නැවැත්තුවා.
“හා…… ඔහේලා කොයිදෑ මේ යන්නේ…..?”
එතකොට ප්‍රධාන ගැල් නායකයා තමන්ගේ ගැලත් නැවැත්තුවා. අනිත් ගැල් වලට යන්න ඉඩ දීලා ඔවුන් සමග කතා කළා.
“මිත්‍රවරුනි…. අපි ලන්ඩන් නුවර ඉඳලා එන ගමන්. ඔහෙලා..?? හොඳට වතුර නාලා…..! මහනෙල් මල් පැළඳගෙන…!. තෙත් වස්ත්‍ර ඇතිව…..! අලුත් නෙළුම් අල කකා…..! කොහේ ඉඳන් ද මේ එන්නේ.! ඔහේලා එන පාරේ නෙළුම් පිපුනු විලක් තියෙනවා ද?”
“මොනවා අහනවද ඕයි….. තව ටික දුරක් යද්දී ඝන නිල් වනාන්තරේ. දිය ඇලි ගලනවා. වැව් පොකුණු පිරිලා. අපි එහෙ ඉඳලා එන ගමන්. ඔහේලා යන්නේ කොයි පළාතට ද….?”
“මිත්‍රයා, අපි යන්නේ අසවල් පළාතටයි.”
“මොනවද මේ ඔය හැටි බඩු…?”
“අපි රෙදි වර්ග, වලං වර්ග, සෙල්ලම් බඩු වගේ දේවල් තමයි මේ ගෙනියන්නේ.”
“එතකොට අර පිටිපස්සෙන් මහාබරට අදින්නේ මොනවා ද?”
“ආ…. ඒ වතුර ගැල්….. කාන්තාරයේ යද්දී ජලය නැහැ නොවැ. ඒ භාජන පුරවලා තියෙන්නේ වතුර.”
“අනේ මිත්‍රයා…… මෙතෙක් දුර ඔහේලා ඔය වතුර බරක් ගෙනා එකත් හොඳා. නමුත් මෙතැනින් එහාට වතුර වැඩක් නෑ. මේ පේන්නෙ නැද්ද අපි හොඳට වතුර නාලා එන හැටි. අනේ ඕවා හලාදමන්න. ගවයන්ටත් හෑල්ලුයි. බරත් අඩුයි. ගමනත් පහසුයි. මොනවට කරදර වෙනවත……
කොහොමත් මේ වතාවෙ වැස්ස ගොඩාක් වැඩියි….. එහෙනම් අපි යනෝ…..ගුන බුස ජපුර” කියලා ඒ අමනුස්ස කරත්ත ඈතට ගියා. නොපෙනී ගියා.
කපටි ගැල් නායකයා අමනුස්සයන්ගේ වංචාවට හසුවුනා. දිය හැලි ඔක්කොම බිම හැලුවා. හෑල්ලුවෙන් ගමන පිටත් වුනා. දිගින් දිගටම ලස්සන වනය බලාපොරොත්තු වුනා. මහනෙල් පිපුනු පැන් පොකුණු දකින්න ආසා කළා..කාලයක් ගෙදරින් පිට හිටපු නිසා පොකුණු අද්දර සාරෙට වැවුන කෙසෙල් පඳුරු දකින්න ආසා කලා...
අහෝ….. පේනතෙක් මානෙ කැකෑරෙන වැල්ල විතරයි. පිපාසයට දිය බිඳක් මිනිසුන්ටත් නෑ. ගවයන්ටත් නෑ. හවස් වෙද්දී හැමෝගේ ම උගුර කට වේලී ගියා. ගවයන් පිපාසයෙන් සෙම හලන්න පටන් ගත්තා. මිනිසුන්ට කලන්තෙ හැදුනා. කරන්ට දෙයක් නෑ. දැන් රෑ බෝ වෙන්ට පටන් ගත්තා. ගැල් පන්සියය රවුමට ගාල් කළා. ගැල් නායකයා හූල්ල හූල්ල ඉන්නවා. දුර්වල මිනිස්සු වැටුනු වැටුනු තැන නිදාගත්තා. මහරෑ අමනුස්සයන් ආවා. සියලු ගොනුන්වත් සියලු මිනිසුන්වත් මැ|රුවා. ඔවුන්ගේ ලේ බිව්වා. මසුත් කෑවා. ඇට විතරක් ඉතුරු කළා.
ශර්ලොක් හෝම්සුත් මාසෙකට හමාරකට පස්සෙ ගැල් ගමනට පිටත් වුනා. ඔහු මේ ගමනට මගේ අලුත්ම 500 S&W magnum රිවෝල්වරයත් අරගෙන යන්න අමතක කලේ නෑ..
ඔවුන් අර කාන්තාරයටම පැමිණුනා.
ඔහු තම සේවකයන් ඇමතුවා.
“මිත්‍රවරුනි…….. දැන් අපි මේ පිවිසෙන්නේ සැතපුම් සිය ගනනක කාන්තාර ගමනටයි….. හොඳින් මතක තියාගන්න. මට නොකියා වතුර බිඳුවක් අහක දාන්න එපා….. මේ කාන්තාරේ විෂ පලා වර්ග තියෙනවා. විෂ ගෙඩි වර්ග තියෙනවා. මට නොකියා ඒ කිසිම දෙයක් කෑමට ගන්න එපා.. කවුරුහරි මගෙ බ්‍රැන්ඩි බැරල් එකට හරි දුම්කොළ මිටියටහරි අත තියලා තිබුනොත් වොට්සන්ගෙ අලුත් කැලිබර් .50 රිවෝල්වරයෙන් හිස්කබල කෑලිවෙන්න මූනිස්සමක් යවනවා” කියලා.
කොහොමහරි මේ ගැල් පිරිසත් කාන්තාරයේ මැදට යනකල් අමනුස්සයන් බලා හිටියා. කලින් වගේම ලස්සන සුදු ගවයන් යෙදූ කරත්ත මවාගෙන කලින් වගේම තෙත බරිත වෙලා, මල් මාලා පැළඳගෙන, නෙළුම් අල කකා හිනැහීගෙන ආවා. කලින් වගේම හෝම්ස් සමගත් කතාවට වැටුනා. කලින් විස්තරේම කිව්වා. ඈතට ගිහින් නොපෙනී ගියා.
එතකොට ගැල් පිරිස හෝම්ස්ට මෙහෙම කිව්වා.
“ශර්ලොක් හෝම්ස් මහත්තයා….. දැක්ක නේත…? අර මිනිස්සු නෙළුම් අල කකා සිංදු කිය කිය ගිය හැටි….. ඉස්සරහ ඝන නිල් වනාන්තරේ ලු. ඉතින් අපි මොකට ද මේ අනවශ්‍ය වතුර බරක් අරගෙන යන්නේ. ගවයින්ටත් අමාරුයි. ඒ නිසා අපි වතුර බර හිස් කරමු. පහසුවෙන් යමුකෝ.”
එතකොට හෝම්ස් ගැල් ගමන නැවැත්තුවා. ගැලේ සිටිය සියලු පිරිස රැස්කළා.
“මිත්‍රවරුනි…. ඔබ කවදාවත් අහලවත් තියෙනවාද මේ කාන්තාරේ වනාන්තර වැව් පොකුණු තියෙන බව….?”
“නෑ හොම්ස් මහත්තයා….. ඒ උනාට ඒ මිනිස්සු කිව්වෙ ඉස්සරහ වනාන්තරේලු. මහා වැසි වසිනවාලු.”
“හොඳයි…. එහෙම වැසි වසිනවා නම් සීතල සුළඟ කොතෙක් දුරට හමනවා ද…?”
“හොම්ස් මහත්තයා…. යොදුනක් දුරට හමනවා.”
“හොඳයි…. එහෙනම් ඔය එක්කෙනෙකුගේ වත් ඇඟට සිහිල් සුළඟ මාත්‍රයක් වත් වැදුනා ද….?”
“නෑ හෝම්ස් මහත්තයා.”
“හරි…. එහෙම මහවැසි වසිනවා නම් ඒ වළාකුලු කොතෙක් දුරට පේනවා ද?”
”යොදුනක් දුරට පේනවා.”
“හරි… එහෙමනම් එක්කෙනෙක් වත් වැහි වළාවක් දැක්කා ද?”
“නෑ හෝම්ස් මහත්තයා.”
“හරි…. විදුලි කොටද්දී කොතෙක් දුරට පේනවා ද?”
“යොදුන් පහක් දුරට පේනවා”
“හොඳයි…. විදුලි කොටනවා කවුරුවත් දැක්කාද?”
“නෑ හෝම්ස් මහත්තයා.”
“හරි….. අහස ගොරවන සද්දේ කොතෙක් දුරට ඇහෙනවා ද?”
“යොදුනක් දෙකක් දුරට ඇහෙනවා.”
“හරි…. කාටවත් ඇහුනා ද?”
“නෑ හෝම්ස් මහත්තයා.”
“මිත්‍රවරුනි…. ඒ මිනිස්සු නොවෙයි. ඔවුන් මහාචාර්ය මොරියා'ටි වගේමයි... හැබැයි ඇත්තම අමනුස්සයෝ. ඔවුන් බොරු කිව්වේ. මං ඒ අමනුස්සයන් එක්ක කතා කරද්දී හොඳ කල්පනාවෙන් හිටියේ. ඔවුන් කවුරුවත් ඇසි පිය හෙළන්නේ නෑ….. ඔවුන්ගේ සෙවනැල්ලත් නෑ. ඒ කරත්තවලවත්, ගවයන්ගේ වත් හෙවනැලි නෑ...
අනික ඔවුන්ගේ පාවහන්වල සටහනක්වත් වැලි පොලවේ සටහන්වුනේ නැහැ.. ඔවුන් මායාවක් පෙන්නුවා. වංචාවක් කළේ….. අපිව මුළා කරවලා, අපේ වතුර අපි ලවාම බිමට හලවලා, කලන්තෙ හදවලා, අපව මරා කන්නයි ඔවුන්ගේ සැලැස්ම…… මං මේ කල්පනා කරන්නේ….. මට හිතෙන හැටියට කලින් ආපු ගැල් පිරිස මේ අමනුස්සයන්ගේ ගැටේට හසුවෙන්න ඉඩ තියෙනවා. මොවුන්ගේ මායාව හඳුනාගන්න එක ලේසි නෑ….ඒත් සත්‍ය කවදාහරි ජයගන්නවා.. දැන් මිත්‍රවරුනි…. හොඳට මතක තියාගන්න….. එක දිය බිංදුවක් අහක දාන්න එපා…. අපි ඉක්මන් කරලා අපේ ගමන යමු.”
ශර්ලොක් හෝම්ස්ගෙ ගැල් පන්සියය සවස් වෙද්දී කලින් ගැල් නැවැත්තූ තැනටම ආවා. අහෝ…. සියලු දෙනා අමනුස්සයන්ට ගොදුරු වෙලා. හැම තැන ඇටකටු විසිරිලා තියෙනවා. හෝම්ස් වේලාසනින්ම ගැල් ගාල් කෙරෙව්වා. මිනිසුන්ටත් ගවයන්ටත් ඉක්මනින් කෑම දුන්නා. මිනිසුන්ගේ මැද්දට ගොනුන්ව ගාල් කෙරෙව්වා. ගැලේ සිටිය බල නායකයන්ගේ අතට පතුරම් පුරවපු රිවෝල්වර් සහ නිදිවැරීමට උපකාරීවෙන ඉස්තරම්ම දුංකොල අවුන්සයක් බැගින් බෙදලා දුන්නා. ඔවුන් රාත්‍රිය පුරා සිටගෙනම ගැල් පිරිවර මුර කළා. ශර්ලොක් හෝම්සුත් එළිවෙන කල්ම තමන්ගෙ පයිප්පය පත්තුකරගෙන ඝන දුම්ගුලි පිට කරමින් ගැල වටේ ඇවිදිමින් සිටියා..ඇතැම් විටෙක මගේ අලුත් රිවෝල්වරය ඔහුගේ ගැඹුරු කබාසාක්කුවෙන් එලියට අරගෙන සඳ එලියෙන් එහි දිස්නය බැලුවා.. පසුවදා ගවයන්ටත් මිනිසුන්ටත් කෑම දුන්නා. තමන්ගේ දුර්වල කරත්ත අත්හැරියා. එතැන තිබුන ශක්තිමත් කරත්ත ගත්තා. තමන්ගේ ලාභ බඩු අත්හැරියා. එතැන තිබුන වටිනා බඩු පුරවා ගත්තා. කාන්තාර ගමන ඉක්මනින් අවසන් කළා. හොඳින් වෙළඳාම් කරගත්තා. නැවත සුවසේ ලන්ඩන් නුවරට ආවා.
- එතකොට වොට්සන් මහත්තයා මේ කතාවෙන් මොකද්ද අපි ප්‍රේක්ෂකයාට දෙන පණිවිඩය..
හිස් වුන කෝපි කෝප්පය ස්ටූලය මත තබමින් යළිත් අසුනේ හරිබරිගැහුන පරිවර්තකයා ඇසීය
- ඒක මෙහෙමයි මෙන්ඩිස් මහත්තයා, අපි සමාජයේ ජීවත්වෙනකොට නානාප්‍රකාර විදිහෙ මිනිස්සු මුණගැහෙනවා.. ගණුදෙනු කරන්න වෙනවා..ඒ අතරෙ ඉන්නවා තමන්ගෙ වාසිය ගැන හිතලා වැඩ කරන & තමන්ගෙ වැඩේට එක දාගන්න ඕන නිසා අනිත් අයගෙ වැඩ පස්සට දාන කපටි අය.. ඉතිං බලන්න මගෙ මිත්‍ර හෝම්ස් දෙකට වැටුනා කියලා කිසිම පාඩුවක් වුනාද නෑනේ...නෑනේ... අන්න ඒ වගේ අපේ ප්‍රේක්ෂක ප්‍රජාවත් තවත් පාර්ශවයක් අපේ වැඩක් හිතාමතාම නොකර ඉන්නවා දැක්කම වැඩිය හිතන්න යන්න එපා..ඔබතුමන්ලාගෙ රටේ අයගෙ වචනෙන් කියනවනම් "සතාව තේරුම් අරගෙන, තමන්ගෙ වැඩේ තවත් හොඳින් කරන්න ඒ කාලය ගන්න.."
- මට පැහැදිලියි දොස්තර මහත්තයා.. මට පැහැදිලියි.... අහ්.. අන්න මගේ කුලීරිය ඇවිත් නළාව හඬවනවා... මට යන්න වෙලාව හරි වගේ්..
- අහ් හරි එහෙනම් මිත්‍රයා.. අපි එහෙනම් හෙටත් මේ වෙලාවටම හමුවෙමු... එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න.. මතක ඇතිව හෙට එනකොට "අමතර හිස්වැස්මක් රැගෙන එන්න.." ඒවා පළදින්න මෙහෙ ගොඩක් අය ඉන්නවා 😉
++++++++++++++++++++++++++++++++++++++++++
දොස්තර වොට්සන්ට සමුදුන් පරිවර්තකයා තරප්පු පෙල බැසගෙන පැමිණ හඩ්සන් මහත්මියගේ විසිත්ත කාමයට දෙස බලාගෙන සන්සුන් ගමනින් පැමිණියත් එක්වරම බලාපොරොත්තු බිඳුණ මුහුණක් ආරූඪ කරගත් ඔහු නිවසින් එපිටට පැමිණ මාර්ගය පසෙක නවතා තිබූ කුලී රියට නගින විටම අසල වෙළඳසැලට ගොස් ආපසු පැමිණෙමින් සිටි හඩ්සන් මහත්මිය දුටු ඔහුගේ මුවඟේ සිනා රැල්ලක් ඇඳුනි..👉👈
(To be continue)
EraNga (එරා)
2023.04.22
(සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණ වූ මෙම කතාවෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය)