සුසුම් වැල් ඔහුගේ දකුණු උර මත හැප්පෙද්දී
නිකට ලඟ දඟකෙරූ සිහින් කිතිය
ඔහු තරමට ම හැඟීම්බර ය
මන්දාරමේ තියුණු තත්සර හාවූ තනුවක් අග
තතුඩලූ කොවුලන්
ඔවුන් ගේ උන්මත්තක ගීතිකා ගයන්නේ
අඳෝනාවක් ලෙස ය
නමුත් කණ්වලට එය මියුරු ය
එක්කාසු වූ බර සුසුම්
විටින් විට ඔහු සුළඟට මුසුකරද්දී
ඔහුගේ හැඩි දැඩි අත
රැවුල ඔස්සේ දිවෙන්නේ
ඒ සුසුම්වලට නෝක්කාඩු කියන්නාක් මෙනි
මොකුත් නොදුටුව ගානට
හිස තියාගෙන හිටියත්....
ඒ යෝධ උර පවා එකම ඉරියව්ව නිසා වේදනාවෙන් ඇඹරෙන බව මට දැනුනි
ලාවට හිරු කිරණ ඔහුගේ පැහැපත් මුහුණ සිපගනිද්දී
මා එයින් දුටුවේ දේවතා එළියක දීප්තියකි
මල් පාරේ පරවූ රෝස මල් හැලෙන්නට පටන්ගෙන ය
අලුතින් පිපුණ රෝස සුවඳ ට
අසුන්ගෙන සිටි ඕක් බංකුව පවා ප්‍රබෝධමත් වී තිබුණි
මා සැරසුනේ ඔහුගේ හිසකෙස් මත හීනියට අහුරා තිබූ පිණි බිංදු පිස දැමීමට ය
ඔහුගේ පිරිමි අත්ලෙන් එය වැලැක්වූයේ
පෙර කිසිදිනක නොවූ ගැඹුරු බැල්මක් මා දෙසට එකතු කරමින් ය
කඩා වැටුනු මනැසින්
නමුත් කට ගොන්නක් සිනාසෙමින්
දෙවන සහ අවසන් වරටත්
මම ඔහුට ස්තූති කලෙමි
නැවතත් පසුපස නොබලා ම රෝස ගස් සේද ඇතිරූ මල් පාර ඔස්සේ......
මල් පෙති දෙකක් අහුලා ගත් මා කරබාගෙන ඇදුනෙමි
________________________________
''ඒ යෝජනාවට මම එකඟ වුනා....
සමාවෙන්න තාත්තගෙ එකම බලාපොරොත්තුව මම
මට කරන්න දෙයක් නැහැ...''
''ඉතින් ඔයාට ඕනි නම් යන්න...''
''එහෙනම් මේක තමයි මුණගැහෙන අන්තිම අවස්ථාව....''
''මං ආසයි අර ඕක් බංකුව උඩ ඉඳන් පාන්දරට රෝස මල් පෙති වැටෙනවා බලන් ඉන්න...''
''ඒක ඔයාගෙ අන්තිම අවස්ථාව....''
''කමක් නැහැ මම එකඟයි...''
________________________________
__අහස්...✍️__