පිනි බිදු
කතාව පටන් ගද්දිම දොස්තර මහත්තයා වාහනෙන් බැහැලා එද්දි එයාට පේන දෘෂ්ඨියයි, කැමරා කාචයේ වෙන කෝණයකින් ඉස්සරහට එන කෙනෙකුගෙ දෘෂ්ඨියයි පෙන්නනවා. ඒ දෙක වෙනස්. දොස්තරගෙ දෘෂ්ඨියට වඩා ඒ දෘෂ්ඨිය බොදයි ටිකක්. එතනින්ම පොඩි අයිඩියා එකක් දෙනවා මේ මනුස්සයෙක් නම් වෙන්න බෑ කියලා. හොල්මන් ගුප්ත ගතියක් පරිසරේ තියෙනවා. දොස්තර මහත්තයටත් පොඩි චකිතයක් නැත්තෙ නෑ... ඒකනෙ හැරි හැරී විපරම් කරන්නෙ. හැබැයි පිටපත් රචකයා එක් වරම මතු කරන මනුස්ස ප්‍රාණීයෙක්ගෙන් බලන්නන්ගෙ ඔලුවෙ හැදීගෙන ආව චිත්‍රය ආයෙ වෙනස් කරන්න ට්‍රයි කරනවා, 'නෑ මෙතන හොල්මන් නෑ...' හැබැයි බලන්නන් මේ වෙලාවෙ පොඩි කුතුහලයකට පත් වෙනවා. හොල්මන් සීන් එකක්ද නැද්ද කියලා... රසිකයො දිගටම තියා ගන්න ගත්තු හොද උත්සාහයක් ආරම්භයේම දීලා.
මේ වගේ පීඩිත සමාජෙකට 'දොස්තර මහත්තයා' කියන්නෙ දෙවි කෙනෙක් වගේ. රචකයා පෙන්නන විදිහට දොස්තර මහත්තයගෙ ආරක්ෂාවටයි මේ නන්නාදුනන මනුස්සයා කොහෙදෝ ඉදලා මතුවෙන්නෙ.
ගොම්මනේ ඔය වගේ පැති වල තනිපංකලමෙ ගමනත් හොද නෑ. වල් අලිගැන වල් සත්තු ගැන මොන අත්දැකීම්ද ඒ පැති වල ජීවත් නොවුන මිනිස්සුන්ට. 'නන්නාදුනන්නා' අහම්බෙන් මතු වෙලා මූණ පුරා හිනා වෙන්නෙ, ගමට අලුතෙන් ම ආව දොස්තර මහත්තයගෙ හිතේ ඇතිවෙච්ච ඒ දෙගිඩියාව නැති කරන්නත් එක්ක. ඔහුගෙ හිතේ ඇතිවෙච්ච ගැස්සිල්ල ඉව වැටිලා උන්දැට.
නන්නාදුනන්නාගෙ හිනාව දොස්තර මහත්තයට හොද පිලිගැනීමක් වුනා. දෙන්නා අතර කතා බහට මුල පුරන්නෙම නන්නාදුනන්නා..
"දොස්තර මහත්තයා දැන්ද එන්නෙ"
ඇත්තටම ඒ දොස්තර කෙනෙක් කියලා, බලන කෙනෙක්ටවත් දැකපු ගමන් තේරෙන්න ඉගියක් රූප රාමු වල දීලා තිබුන් නෑ. හැබැයි මේ 'නන්නාදුනන්නා' ඒ මනුස්සයා දැකපු සැණීන් දොස්තර මහත්තයා කියලා කතා කරන එකෙන්ම ඉගියක් දෙනවා, ඔහු ඔහුව දැනගෙන හිටියා කියලා.
'නන්නාදුනන්නා' දොස්තර මහත්තයට ලස්සන හිනාවකින් ආදරණීය පිළිගැනීමක් දෙනවා. හැබැයි ඒත් එක්කම පොඩි පල් එකකුත් දෙනවා.
'දැන්ද එන්නෙ..?'
සමහරවිට නන්නාදුනන්නා ඔහු එනකම් කාලයක් ඒ ලදු කැලෑවට වෙලා මග බලන් ඉදලා ඇති. ඔහුගේ කල්ගිය ආගමනය ගැන බලාපොරොත්තුවෙන් හෙම්බත් වෙච්ච පීඩිතයෙක්, සමච්චල් සහගත සිනහවකින් ඒ් ගමට පිලිගත් විදිහක් කියලයි මට හිතුනෙ...
(මං උඹ එනකම් සෑහෙන්න කල් බලන් හිටියා මනුස්සයො. දැන්ද එන්නෙ.... වගේ දෙබසක් මූණට කෙලින් කියාගන්න බැරුව හිනාවකින් හංගනවා කියලා තේරුනේ😁)
ඇයි ඉතිං එච්චර තරහක්... කතාවෙ ඉතුරු ටික ඒ ටික විස්තර කරනවා.
නන්නාදුනන්නා තමාව දොස්තර කෙනෙක් විදිහට අදුනා ගත්තා එක ගැන එයාට පුදුමයි. කිසිම සලකුණක්වත් නැතුව. ඒකයි එයා කියන්නෙ.
"මං අද තමයි මේ පලාතට ආවෙ" කියලා..
මෙතනදි නන්නාදුනන්නා දෙන උත්තරේ තමයි.
"මූණවල් අලුත් වුනාට මතක මැරෙන් නෑනෙ මහත්තයො..." කියලා..
ඔව් මේ අලුත් මූණක්. අලුත් මනුස්සයෙක්. මේ ගමට පය තිබ්බෙම අද.. එතකොට මොකක්ද ඒ මැරෙන් නැති මතකෙ? කතාවෙ ඉස්සරහට යමු මොකක්ද ඒ කතාව කියලා බලන්න... පිටපත් රචකයා 'නන්නාදුනන්නා'ගෙ ව්‍යාංගාර්ත්මක කතාවෙන් මොකක්ද කියන්නෙ කියලා ටිකක් හිතලා බලමු.
"මේ පොළොවෙ වතුරට හැම දේම මතකයි.. උන්ට ඒවා කියන්න කෙනෙක් නෑ. කිව්වට අහන්නෙත් නෑ..."
මෙතනින් තමා සිංදුවෙ ප්‍රධාන මාතෘකාවට enter වෙන්නෙ.
'වතුර'
මේ පොලෛවෙ වතුර කිව්ව ගමන් තියෙන රූප රාමුත් එක්ක, රජරට ශුෂ්ක කලාපීය මිනිසුන් පානීය ජලය එක්ක පොර බදින ජීවිත තමයි, ලංකාවෙ ජීවත් වෙන ඕනෙම මනුස්සයෙක්ගෙ ඔලුවට එන්නෙ. ඔවුන්ට පානීය ජලය දෙන්න කියලා කන්නලව් කලත්, ඒක කියන්න කියලා කෙනෙක් ඔවුන්ට මෙච්චරකට හම්බෙලා නෑ. කිව්වත් හරියකට ඇහුම්කම් දෙන කෙනෙක් හම්බෙලා නෑ.
'එහෙනම් ඇයි මේක මේ මනුස්සයා දොස්තර මහත්තයා එක්ක කියන්නෙ? ඒ ගමේ මනුස්සයෙක්වත් නෙමෙයිනෙ...?' ඒත් එක්කම මේ නන්නාදුනන්නා මේ පැති වලට තියෙන අනිත් විසාලම ප්‍රශ්නෙ ඉස්මතු කරනවා.
"ඕනෙම තැනක වැඩි වෙලාවක් ඉන්න හොද නෑ... සත්තු එළි බහින වෙලාව.."
සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ, එක් භූමි කොට්ඨාසයක දැවෙන ගැටලුවක් වන, පාලකයින් විසින් නම් කරන ලද 'අලි මිනිස් ගැටුම' ගැනත් සිංදුවෙන් ඉස්මතු කරන්න ගන්න වෑයමක් තමයි ඒ..
සිදාදියෙ නගරෙ මහ රෑ ජාමෙත් එලි බැහැලා මිනිස්සු රජ කෙරුවට, වැව් බැදි රාජ්ජෙ අවට ගොම්මන කිට්ටු වෙන්න මිනිස් පුලුටක් එලිමහනෙන් හොයා ගන්න බැරි තරම්. මොකද ඒක ඒ තරමට නුවණට හුරු වැඩක් නෙමෙයි. කොයි වෙලාවක අලියෙක් මතුවෙයිද කියන්න දෙයියොවත් දන්නෑ...
රූප රාමුවෙන් නම් පෙන්නනවා පොඩි අත්තක් කඩාගෙන සතෙක් යන වගක්. මේ ඇත්තටම සත්තු ඇවිස්සෙන දෙයක් ගැනද එහෙම නැත්නම් අත්භූත දෙයක් ඉස්මතු කරන්න කරපු වැඩක්ද කියලා නම් පැහැදිලි මදි මට. (ඔයාලට තේරුන දෙයක් තියේ නම් කියන්න)
"මං ටිකක් පරක්කු වුනා මහත්තයෝ..."
මෙතන නිකං අදහසක් දෙනවා, දොස්තර මහත්තයා මෙච්චර පරක්කු වෙලා ගොම්මන් වෙලාවක ගමට ආවෙත් එයාගෙ පරක්කුවක් නිසා කියලා. 'නන්නාදුනන්නා' තමා විසින්ම දොස්තර මහත්තයගෙ පමාවේ වැරැද්ද තමන් පිටට දා ගන්නවා. මොකක්ද ඒ සම්බන්දෙ. පිටපත් රචකයා මේ වගේ තැන් කිහිපෙකම කුතුහලයක් ඉතිරි කරලා තමා කතාව ඉස්සරහට අරගෙන යන්නෙ.
"මෙහෙ වතුර මගෙ දරුවත් ලෙඩ කෙරුවා..."
ඒ වචන හරිම දුක්ඛිතයි. රූප රාමුවෙත් පෙන්නන්නෙ සුදු මල් කිනිත්තක්. හඩෙහි බරයි - සුදු පාටයි එක්ක පොඩි අදහසක් ව්‍යංගයෙන් දෙනවා, ඒ ළමයා ලෙඩ වෙලා එතනින් නතර වෙලා නැතුව ඇති, බොහෝ දුරට මැරිලා ඇති කියලා.
"කළගෙඩියකින් වතුර ටිකක් බොන්න ආසයි"
දොස්තර මහත්තයා වටේ යන කතාව ආයෙමත් main point එකට අරන් එනවා. "වතුර" ඒක ඇහුණම නන්නාදුනන්නාට කට කොණින් හිනා යනවා.
මෙතන කතා දෙකක් තියෙනවා..
1 - නගරෙ ඉන්න දොස්තරලට ටැප් එක ඇරිය ගමන් එන වතුර වගේ නෙමේ. මේ පැති වල කළ වල එකතු වෙලා තියෙන්නෙ බොන්න- කන්න ගන්න වතුර විතරයි. ඒකත් බොහොම අමාරුවෙන් එකතු කර ගන්න වතුර ටිකක්. වෙලාවකට ලීටරේකට රුපියල් ගාණක් ගෙවලා ගන්න වතුර ටිකක්. කාසි හොයා ගන්නත් නැති වෙන කාලෙක රුපියල 2, 3 හරිම පුංචි ගාණක් වෙන කාලෙක, ඒකත් මහ මෙරක් වගේ වටින මිනිස්සු මේ ලංකාවේ තාමත් නැතිව නෙමෙයි. සත්තකින්ම වතුර නිසා වකුගඩු රෝගයෙන් බැට කන ඒ අහිංසක මිනිස්සු ඉන්න පැති වලට රුපියලත් හරිම වටින මුදලක්. ඒ මුදලින් ගන්න වතුර ලීටරේ දෙක තුනත්, ඒ මිනිස්සුන්ට අමෘතය වගේ. ඒ විදිහට කළගෙඩියකට එකතු කර ගන්න වතුර බොන එක පිටස්තරයන්ට ආසාවක් වුනාට, අලුත් අත්දැකීමක් වුනාට ඒ මිනිස්සුන්ට ඒක ලොකු කට්ටක්.
නන්නාදුනන්නාගෙ ඒ හිනාවෙ - ඒ කතාවෙ, පිටපත් රචකයා කැටි කරනවා, නගරෙ මිනිස්සු ඔවුන්ගෙ දුක්ඛිත ජීවිතයෙ කටුකත්වය, නැවුම් අත්දැකීමක් කරගන්නට සැරසෙද්දි, ඔවුන්ගෙ හිතේ ඇති වෙන සමච්චල් සහගත හැගීම් සමුදාය.
එතකොට මොකක්ද අනිත් කතාව, අනිත් කතාව දැන්ම කිව්වොත් තේරෙන් නෑ. ටිකක් ඉන්නකො. ඒ කතාව කියන්න කලින් අපි කතාවෙ අවසානෙට පනිමු.
නන්නාදුනන්ගෙ ගේ ඉස්සරහා හිටන් ඉන්න දොස්තර මහත්තයා දිග කතාවකට ඇහුම්කම් දීමෙන් පස්සෙ කියනවා
"දැන්වත් වතුර ටිකක් බොමුද?" කියලා..
"වතුර?" පෙරලා සමච්චල්සහගත හඩකින් ප්‍රශ්නයක්.. ඒත් එක්කම දොස්තරට ඇහෙනවා පොඩි ගෑණු ළමයෙක්ගෙ සද්දයක්..
"අප්පච්චී..."
ඒ හඩේ හරිම හුරුපුරුදු ගතියක් තියෙනවා. නන්නාදුනන්නා එක පාරට නොපෙනී යනවා. දොස්තරගෙ හිත ටිකක් ගැස්සෙනවා. ඒත් එක්කම ආයෙමත් ගේ දිහාවට දෑස් යොමද්දි ඡායාවන් වගේ දේවල් ක්ෂණයෙන් මතකෙට එනවා...
ඔව්.. මේ දොස්තර මහත්තයා කියන්නෙ ඒ නන්නාදුනන්නාගෙ පුනරුප්පත්තිය. මෙතනදි තමයි බලන්නාගෙ හිතේ මෙච්චරක් වෙලා තිබිච්ච දෙගිඩියාව රචකයා නැති කරන්නෙ. ඒ මෙච්චර වෙලා ඉදලා තියෙන්නෙ ඇත්තම මනුස්ස ප්‍රාණීයෙක් නෙමෙයි. අපේ වහරෙන් නම්, හොල්මනක් නැත්නම් අවතාරයක්.
මේ පුනරුප්පත්තියක් කියන්නෙ කොහොමද? ඒකට ඉගියක් දෙනවා නන්නාදුනන්නාගෙ සහ දොස්තරගෙ බෙල්ලෙ තියෙන පැල්ලම.
කතාවෙ මුල ඉදන් තිබුන ප්‍රශ්න ගොඩකට මෙතනින් උත්තර හැදෙනවා. මුලින්ම ඇති වෙච්ච ඒ බොද වුණ දෘෂ්ඨිය... ගමට මුලින්ම ආපු මනුස්සයා දොස්තර කියලා අදුනා ගත්ත විදිහ..
.....
බොන්න වතුර නැති කමට- තියෙන වතුරක් බීලා පෙර ආත්මෙක ඔහුගෙ පොඩි දුව ලෙඩ වෙලා මැරිලා... දුවව බේරා ගන්න යන මගට අලියෙකුට මුලිච්චි වෙලා ඔහු අලියා ගහලා මැරිලා... තනි වුන දුවලාගෙ අම්මත් හිතේ දුකට මැරිලා... ඔහුට විතරක් නෙමේ, ඒ මුලු ගමටම වුන වින්නැහිය ඒකයි. අදටත් වෙන පොදු කතාන්දරය ඕකයි.
මේ දේවල් අහන්න, මේ දේවල් කියන්න හිටියෙ නෑ කවුරුත් උන්ට. ඒකයි ඔහුම ඔවුන් වෙනුවෙන් අලුත් ආත්මයකට පණ දුන්නෙ. නන්නාදුනන්නා ඊළග ආත්මෙක දොස්තර කෙනෙක් වුනේ ඒ නිසයි.
"මේ පොළොවෙ වතුරට හැම දේම මතකයි.. උන්ට ඒවා කියන්න කෙනෙක් නෑ. කිව්වට අහන්නෙත් නෑ..."
ඔවුන්ගෙ දුක තේරෙන්නෙ ඔවුන්ට මිසක වෙන කාටද? තමන්ට තමන් මිසක වෙන කවුද..? ඒ නිසයි, ඒ මිය ගිය ආත්මය විසින්ම ඔවුන් වෙනුවෙන් තමන්ව ඊලග ආත්මයේ ගොඩනගා ගත්තෙ. ඒ නිසයි ඔවුන්ගෙ කන්නලව් වලට උත්තර දෙන්න ආයෙමත් ඔහුව ඒ දිසාවටම එව්වෙ, නන්නාදුනන්නා දොස්තර කෙනෙක් විදිහට ඒ ගමේ උන් වෙනුවෙන් පෙරළා පැමිණෙන්නෙ.
"දොස්තර මහත්තයා දැන්ද එන්නෙ"
හැබැයි ඔහු ඔහුව ගොඩනගන්න ගත් කාලය ටිකක් වැඩී... ඒ කාලය බොන්නට තිබුන වතුර විසින්ම, ඔහු වගේ, ඔහුගෙ දුව වගේ තවත් ප්‍රාණීන් රැසක් බිලි අරගෙන....
"මං ටිකක් පරක්කු වුනා මහත්තයෝ..."
දොස්තර මහත්තයාට තමන්ගෙ කලින් ආත්මයන් අමතක වුනාට, අලුත් ආත්මෙකට පණ දුන්න තමාගෙ පුනරුප්පත්තිය ගැන නන්නාදුනන්නා කොහොම නොදැන ඉන්නද?
"මූණවල් අලුත් වුනාට මතක මැරෙන් නෑනෙ මහත්තයො..."
දොස්තර මහත්තයත් පුදුම කරවගෙන ඔහුව අදුනාගත්තෙ මේ නිසයි.
ජීවත් වෙන්න කෑමක් නැතත් මනුස්සයෙක්ට වතුර ඔනෙමයි. හැබැයි ඒ පොළොවෙ වතුර මිනිස්සු ජීවත් කරවන්න විතරක් නෙමෙයි, මිනිස්සු පණ පිටින් මරන්නත් හේතු වුණා- හේතු වෙනවා.
"මේ පොළොවෙ වතුරට හැම දේම මතකයි.."
මේ මහ පොළොවෙ සාරය උරා බීලා ජීවත් වුණ මිනිස්සු, අවසන් හුස්ම ඇරපු මිනිස්සු මහ පොළෙෘවෙ වතුරට මතකයි. ඔවුන් තාමත් ඒ භූමියේ නොමැරී ජීවත් වෙන ආත්මයන්. රචකයා මේ දෙබසෙන් නන්නාදුනන්නා කියන්නෙ 'රජරට වතුර' වෙනුවට ගත්ත තවත් උපමාවක් කියලයි මහ හැගෙන්නෙ. මහපොළොවෙ වතුර තමයි කාලයකට පෙර මියැදුණ නන්නාදුනන්නාත්, අලුතින් එන දොස්තරත් අතර සම්බන්ධය හරිහැටි දන්නෙ. 'රජරට වතුර' ඕ මතින් යැපෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් එන ඒ දොස්තර රැක ගැනීමට නන්නාදුනන්නාගේ ආවේෂයක් ගන්නවා. ඔහුට අමතක වෙලා ගිය පෙර ආත්මෙක ජීවිත රටාව ආයෙමත් මතක් කරනවා. මෙහි ජීවත් විය යුතු ආකාරය, පරිස්සම් විය යුතු ආකාරය කියලා දෙනවා.
"ඕනෙම තැනක වැඩි වෙලාවක් ඉන්න හොද නෑ... සත්තු එළි බහින වෙලාව.."
'නන්නාදුනන්නා' නොහොත් 'රජරට වතුර' ඔහුට නොකියා කියන්නෙ උඹ පෙර ආත්මෙත් මැරුනෙ අලියා ගහලා. මේ වගේ වෙලාවට එළියට යන්න එපා. උඹ අපිට වටිනවා. පරිස්සම් වෙයන් කියලා.'
කලින් මං කිව්වෙ දොස්තර මහත්තයා වටේ යන කතාව ආයෙමත් main point එකට අරන් එන තැන.
"කළගෙඩියකින් වතුර ටිකක් බොන්න ආසයි"
කට කොණින් හිනා වෙන නන්නාදුනන්නා මෙතනින් කියන්න යන්නෙ මොහු ඒ ඉල්ලීම කරන්නෙ කවදාවත් නොකරපු වැඩක් කරන්න ඕනෙ කියනවා වගේ නිසා. අලුත් ආත්මෙකට ජීවය ලබපු ඔහුට පෙර ආත්මයෙ ඔහු විදපු දුක් සියල්ල අමතක වෙලා. නන්නාදුනන් නොහොත් රජරට ජලය ඔහුව ගොඩ නැගුවෙ ඔවුන්ගෙ දුක් ගැනවිලි අහන්න මනුස්ස ප්‍රාණියෙක් වෙන නැති නිසා වුවත්, දැං ඔහුට ඒ දුක්ඛිත ජීවිතය අමතක වෙලා.
නන්නාදුනන්නා කියන්නෑ ඔහුට බොන්න වතුර ටිකක් හොයා ගන්න එක කළගෙඩියක පුරවලා තියෙන වතුර ටිකක් බොන තරම් ලේසී නෑ කියලා. ඔහු උත්සාහ කරනවා දොස්තරගෙ මතකය අලුත් කරන්න.
" මගෙ ගේ තියෙන්නෙත් මේ ළග"
ඔහුව ගෙනිහිං පෙන්නනවා නන්නාදුනන්නාගෙ ගෙදර. ඈත ඉදන් පෙන්නලා මේක තමයි මහත්තයො මගෙ ගෙදර කිව්වට ඔහු ඇතුළට එක්කන් යන්න සැරසිල්ලක් නෑ. නන්නාදුනන්නා තව තවත් උත්සාහ කරනවා දොස්තරගෙ පරණ මතකය අලුත් කරන්න. ඊට පස්සෙයි නන්නාදුනන්නාගෙ ජීවිත කතාව ඔහුට කියන්නෙ. කතාව සම්පූර්ණෙන් කිව්වත් ඔහුට ගාණක්වත් නෑ.
දුක දන්න මනුස්සයෙක් විතරයි දුක නැති කරගන්න වැඩක් කරන්නෙග නන්නාදුනන්නා කාලයක් තිස්සේ බලන් ඉදන් මේ වගේ කෙනෙක් ඔවුන් වෙනුවෙන් ගොඩ නැංවුවත්, ඔහුට ඒ කිසි දෙයක් මතකයේ නැතිනම්, ඔහුත් වැඩි කල් නොගොස් සාමාන්‍ය පාලකයෙක් ගාණටම වැටෙයි. ඒ නිසයි ඔහු මෙච්චර වෑයමක් අරන් ඔහු විදපු දුක මතක් කරන්න උත්සාහ ගන්නෙ. කිසිම ගාණක් නොවුණ දොස්තරගෙ උත්තරේ වුණේ
"දැන්වත් බොමුද වතුර ටිකක්"
අවුරුදු ගාණක් ඔහු පණ දුන් ආත්මයම අපතේ යාමක් වගේ හැගීමක් නන්නාදුනන්නාට ඇති වෙනවා. මෙතෙක් වෙලා කුළුපග පිළීගැනීමක් තිබුණ ඒ ආත්මයම ක්ෂණයෙන් වෙනස් වෙනවා. ඔහුගෙ හිතේ චකිතය නැති කරන්න ඔහු පසු පසින් ආ නන්නාදුනන්නා කිසියම් වූ කළ කිරීමකට පත් වෙනවා.
"වතුර?"
ඔහු එය අසන විලාසය මේ සියලු හැගීම් කැටි කරනවා. හොදින් නැත්නම් නරකින් හෝ දොස්තරට සියල්ල මතක් කර දිය යුතුයි. ඒ නිසයි ඒ ආත්මය එක වර නැති වී යන්නෙ. දූ - පිය බැදීම මැරුණත් සදාකාලිකයි. ඒ නිසයි ඒ ආත්මය ඔහුගේ මතකය අලුත් කරන්න පෙර ආත්මයක ජීවත් වූ ඔහුගේ දූ පොඩිත්තගෙ හඩ අවදි කරන්නෙ.
"අප්පච්චී...."
තමා විසින් තමාගෙ මතකය අවදි කර ගත නොහැකි වුවත්, ඒ ආදරණීය හඩට පුළුවන් වුණා ඔහුගෙ මතකය අවදි කරන්න. පියවරෙන් පියවර ඉදිරියට යද්දි ඔහුට තේරුම් ගියා මෙතෙක් වේලා සිදු වූ සියල්ලෙ අග මුල.
.....
එහෙනම් රජරට පානීය ජලය නිසා ඇති වන වකුගඩු රෝගය පිළීබද කාලයකට අමතක වෙන කාලයකට මතු වෙන යට යන උඩ එන ප්‍රශ්නය පිළීබද සිදු කරපු අපූරු රූප රචනාවක් වගේම හරිම ලස්සන සිංදුවක් මෙහෙම විචාර කරලා ඉවර කරනවා.
ඒක තවත් වෙනස් විදිහකට තවත් කෙනෙක් දකී. ඒක ලොවේ සොභාව.
ප.ලි. - වෙනුර තෙන්නකෝන්, යුකී නවරත්න, රවී ජේ අයියලාගෙ උත්සාහයට උපරිම සාදාරණයක් දෙමින් සිංදුව ජීවත් කරවන ජගත් බෙනරගම අයියගෙ රගපෑමත් අගය කළ යුතුමයි 💝